ශ්‍රි ලංකාවේ ඉස්සන් වගාව, පසුගිය කාලයේ මතුවු කරුණු කිහිපයක් හේතුකොටගෙන කඩා වැටීමකට ලක්වු බැවින්, එම හේතු වලට පිළියම් සොයා මාස 06 තුළ මෙම වගාව තිබුණු තත්වයටත් වඩා සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
2024.04.26 වැනි දින ධීවර අමාත්‍යංශයේ පැවති ඉස්සන් වගාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා ධීවර අමාත්‍යංශයේ ලේකම් ඇතුලු නැක්ඩා ආයතනයේ නිලධාරීන් හා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, දේශීය ඉස්සන් කර්මාන්තය තුළ වෛයිරස් රෝග හා ඉස්සන් වගා කරුවන්ගේ වැරදි වගා ක්‍රමයන් හේතුකොට ගෙන දිලීර රෝග වලට භාජනය වීම නිසා පසුගිය වර්ෂවලට වඩා අස්වැන්න අඩු වී තිබෙන බවත්, නාරා හා නැක්ඩා ආයතනය තුළ අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කර ඉතා ඉක්මණින් නැවත ඉස්සන් වගාව යථා තත්ත්වයට පත්කොට මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට සදහා අවශ්‍ය පියවර ගතයුතු බව ද පෙන්වා දුන්නේය.
තවද ඉස්සන් අභිඡණන මධ්‍යස්ථානවල හිමිකරුවන් හා වගාකරුවන්ගෙන් ද අදහස් විමසු අමාත්‍යවරයා එම අදහස් වලට සවන් දී ඔවුන්ට අවශ්‍ය ණය මුදල්, ජනාධිපතිතුමන් විසින් යෝජිත S.M.E සුළු හා මධ්‍යම වගා කරුවන්ට ලබාදිය යුතු ණය යෝජනා ක්‍රමය ඇතුළු සහන ද ලබාදිමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට පැවසීය.
මෙහිදි ඉස්සන් වගාකරුවන් ඇමතු අමාත්‍යවරයා, ඉස්සන් වගාව නිසා විශාල වශයෙන් පාඩු සිදුවන බවත්, එයට හේතුව ද මෙම වගාව සිදු කිරීමේදි ඊට අදාළ උපදෙස් නිලධාරීන්ගෙන් ලබා නොගැනීම බවයි. එම උපදෙස් නොමැතිව ඉස්සන් වගාව සිදුකළහොත් විශාල හානියක් සිදුවන බැවින් ඉස්සන් ගොවිපලවලින් පිටවන අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කළ යුතු බවද පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනෙවිය, ධීවර අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා, නැක්ඩා ආයතනයේ සභාපති බී. විජේරත්න මහතා, නැක්ඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්‍ය අශෝකා මහත්මිය සහ ඉස්සන් වගා කරුවන්ගේ සංගම්වල නියෝජිතයින් ඇතුලු උසස් නිලධාරින් පිරිසක් සහභාගිවිය.