මෙරට ස්වදේශිය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ‘ජයන්ට් ස්නේක්හෙඩ්’ (Giant Snakehead) නම් ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂය පාලනය කිරීමේ අරමුණින්, සංරක්ෂණ මෙහෙයුමක් ලෙස සංවිධානය කෙරුණු "දැදුරු ඔය Fishing Tournament 2025" මසුන් ඇල්ලීමේ තරගය, සෙනසුරාදා (සැප්තැම්බර් 20) දින දැදුරු ඔය ජලාශයේදී අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.
ධීවර අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ, වයඹ පළාත් සභාවේ දායකත්වය ඇතිව, ‘ඇංග්ලින් ප්‍රජාව ස්පෝට් ෆිෂින් ක්ලබ්’, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), Clean Sri Lanka ආයතනය සහ ප්‍රදේශයේ ධීවර සමිති එක්ව සංවිධානය කළ මෙම ඓතිහාසික අවස්ථාව සඳහා, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් 1000කට අධික ක්‍රීඩා මසුන් අල්ලන්නන් (Anglers) පිරිසක් සහභාගී වූ අතර, දකුණු ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සහභාගීත්වය ද විශේෂත්වයක් විය.
නව නීති රෙගුලාසි සහ මහජනතාව සඳහා වන උපදෙස්
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, මෙම වැඩසටහනේ මූලික අරමුණු පැහැදිලි කළේය.
"විසිතුරු මසුන් ලෙස මෙරටට ගෙනවිත්, පසුව අයිතිකරුවන් විසින් ස්වභාවික ජල පද්ධතිවලට මුදා හරින ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ මගින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව සමාජ කතිකාවතක් ඇති කිරීම අපේ ප්‍රධාන අරමුණයි. අපේ පරිසරයේ ස්වභාවික විලෝපිකයන් නොමැති වීම නිසා මෙම මසුන් වේගයෙන් බෝ වී, දේශීය මත්ස්‍ය සම්පත විනාශ කර, ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල කරනවා," යැයි ඒ මහතා අවධාරණය කළේය.
මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස, පහත සඳහන් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ හතර ආනයනය, ප්‍රවාහනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කරමින් නව රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ඒ මහතා මෙහිදී නිවේදනය කළේය.
පිරානා (Piranha) විශේෂ
නයිෆ් ෆිෂ් (Knife Fish)
ඇලිගේටර් ගාර් (Alligator Gar)
රෙඩ් ලයින්/ජයන්ට් ස්නේක්හෙඩ් (Redline/Giant Snakehead)
මෙම නීතිය, ගැසට් පත්‍රය නිකුත් කර මාස තුනක සහන කාලයකින් පසු පූර්ණ වශයෙන් බලාත්මක වන බවත්, විනෝදාංශයක් ලෙස හෝ ප්‍රදර්ශන අරමුණු සඳහා මෙම මසුන් ලඟ තබා ගන්නා පුද්ගලයින්ට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් (NAQDA) විශේෂ බලපත්‍රයක් ලබා ගත හැකි බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ක්‍රීඩා මසුන් ඇල්ලීමෙන් නව ආර්ථික මානයක්
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා අදහස් දක්වමින්, "මෙය හුදෙක් සංරක්ෂණ වැඩසටහනක් පමණක් නොව, ප්‍රදේශයේ ජනතාවට නව ආර්ථික අවස්ථා විවර කර දීමක්. ‘ක්‍රීඩා මසුන් ඇල්ලීම’ (Sport Fishing) පාරිසරික සංචාරක කර්මාන්තයේ කොටසක් ලෙස මෙම ප්‍රදේශයේ දියුණු කිරීමෙන්, ධීවර ප්‍රජාවට සහ ගම්වාසීන්ට අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කළ හැකියි," යනුවෙන් පැවසීය.
තරගයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, දැදුරු ඔය ධීවර ප්‍රජාව දිරිගැන්වීම සඳහා ධීවර දඬු 15ක් සහ රීල් 03ක් ඇතුළු වටිනා ධීවර උපකරණ කට්ටල ද ප්‍රදානය කෙරිණි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, නිවෙස්වල ඇති කරන විදේශීය මසුන් කිසිදු හේතුවක් මත ස්වභාවික ජල පද්ධතිවලට මුදා නොහරින ලෙසයි. එසේ තවදුරටත් රැකබලා ගත නොහැකි මසුන් නැවත අධිකාරිය වෙත භාර දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම ආදර්ශමත් වැඩසටහන, මෙරට අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.