en banner

WhatsApp Image 2026 06 05 at 22.07.43ජපානයේ ටෝකියෝ නුවර පසුගිය ජූනි 02 සිට 04 දක්වා පැවැති ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුව’ (Island States Ocean Summit - ISOS) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී විය.

මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාව සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වට කිහිපයක් සඳහා අමාත්‍යවරයා එක්වූ අතර, ඒ සඳහා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා (Emperor Naruhito), නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි හාකොන් (Haakon) කුමරු සහ ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි (Sanae Takaichi) මහත්මිය ඇතුළු රටවල් 35ක රාජ්‍ය නායකයින් සහ ධීවර අමාත්‍යවරුන් සහභාගී වූහ. මීට අමතරව නිපොන් පදනමේ (Nippon Foundation) ගෞරවනීය සභාපති යොහේයි සසකාවා මහතා සමඟ ද අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක නිරත විය.

සමුළුව අමතමින් විශේෂ දේශනයක් සිදු කළ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ දේශගුණික විපර්යාස, සාගර දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ ජෛව විවිධත්වයට සිදුවන බලපෑම වැනි සංකීර්ණ අභියෝගයන්ට තනි රටකට පමණක් මුහුණ දිය නොහැකි බවයි.
"ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය, ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව සාගරය සමඟ සමීපව බැඳී පවතිනවා. දූපත් රාජ්‍යයන් ලෙස අප මුහුණ දෙන පොදු ගැටලු විසඳීමට නම් වචනයෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් අවශ්‍යයි. විශේෂයෙන්ම නවීන ධීවර තාක්ෂණය, චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධති සහ දත්ත හුවමාරුව සඳහා දියුණු රටවල සහාය සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට හිමිවිය යුතුයි," යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

ශ්‍රී ලංකාව මේ වන විට විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ධීවර කළමනාකරණ ප්‍රතිපත්තියක් සහ ‘නීල ආර්ථික’ (Blue Economy) වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, කඩොලාන, කොරල්පර සහ මුහුදු තෘණ පද්ධති සුරැකීමට රජය ප්‍රමුඛතාව ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කුඩා පරිමාණ ධීවරයින්, කාන්තාවන් සහ වෙරළාසන්න තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සියලු සාගර පාලන ප්‍රතිසංස්කරණවල කේන්ද්‍රය විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම සංචාරය හරහා ජපානය ඇතුළු අනෙකුත් දූපත් රාජ්‍යයන් සමඟ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ නව තාක්ෂණික හා මූල්‍ය සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට ශක්තිමත් පදනමක් සැකසුණු බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සමුළුව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමඟ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද සහභාගී විය.

නවතම පුවත්

Youtube