හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන වෘත්තීය හා යටිතල පහසුකම් ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී කරදිය මෙන්ම මිරිදිය ධීවර ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි සමිති නියෝජිතයන් සිය ගැටලු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළහ. විශේෂයෙන්ම කුඩා යාත්‍රා සඳහා භූමිතෙල් සපයා ගැනීමේදී පවතින දුෂ්කරතා සහ රජය මගින් ලබාදෙන ඉන්ධන දීමනා වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ධීවර වරායන්හි සේවා සැපයීමේදී පවතින අඩුපාඩු මෙන්ම ධීවර වරාය සහ නැංගුරම්පොළවල් කරා පිවිසෙන මාර්ග පද්ධති සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
මිරිදිය ධීවර ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වැව්වල රොන්මඩ පිරීම සහ ජලජ ශාක ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වී ඇති මිරිදිය ධීවර කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. මීට අමතරව, ධීවරයින්ට අවශ්‍ය තාප පරිවාරක මත්ස්‍ය පෙට්ටි (Insulated boxes) සහ පැලට්ස් (Pallets) වැනි ආම්පන්න ලබාදීම පළාත් අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව විධිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය
නීති විරෝධී ධීවර කටයුතු පාලනය කිරීම මෙන්ම වෙරළ සංරක්ෂණ, වනජීවී සහ පරිසර අමාත්‍යාංශය හා සෘජුව සම්බන්ධ වන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ වූ නම්‍යශීලී යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙම සංවර්ධන කටයුතු සඳහා දක්වන සක්‍රීය දායකත්වය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, දිලිප් වෙදආරච්චි, හම්බන්තොට නගරාධිපති, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි, සීනෝර් (Cey-Nor) ආයතනයේ සභාපති, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (Development) මෙන්ම නාරා (NARA) සහ NAQDA යන ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.















