en banner

1.jpgශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධාන සහභාගීත්වයෙන් අද (09) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දේශීය බෝට්ටු හා බෝට්ටු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 53 කට අධික අපනයන ආදායමක් රටට ගෙන එන ප්‍රධාන කර්මාන්තයකි. එහෙත්, නිෂ්පාදිත විශාල බෝට්ටු ආරක්ෂිතව මුහුදට දියත් කිරීම සඳහා නිසි පහසුකමක් නොමැති වීමෙන් කර්මාන්තකරුවන් මෙන්ම විදේශීය ගැනුම්කරුවන් ද දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ. මීට කඩිනම් විසඳුමක් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, රුපියල් මිලියන 76ක ආයෝජනයකින් බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ නව "බෝට්ටු දියත් මගක්" (Boat Launching Facility) ඉදිකර ඇත.

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ඒකාබද්ධ කැබිනට් සංදේශයට අදාළව අද පැවති මෙම සාකච්ඡාවේදී, අදාළ බෝට්ටු දියත් මගෙහි පරිපාලන සහ නඩත්තු කටයුතු 'ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව' (CFHC) වෙත නිල වශයෙන් පැවරීමට සියලු පාර්ශවයන්ගේ පූර්ණ එකඟතාවය හිමි විය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විශේෂයෙන් අවධාරණය කළේ, රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අමාත්‍යාංශ එකිනෙකෙන් වෙන්ව කටයුතු නොකර මෙලෙස ඒකාබද්ධව කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. මෙම ව්‍යාපෘතිය අතිසාර්ථක කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, ධීවර වරාය නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය සහ බේරුවල බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය යන සියලුම පාර්ශවයන් එකම ජාතික අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බවට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම්තුමා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි මහතා ඇතුළු ධීවර අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර වරාය නීතිගත සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

2.jpg

4.jpg

5.jpg

නවතම පුවත්

Youtube