යාපනය දිස්ත්‍රික්කයේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ත්‍රිත්වයක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2025.09.18 දින ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වේදනායගන්, ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස, ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
මෙම වැඩපිළිවෙළ යටතේ පහත සඳහන් ප්‍රධාන ව්‍යාපෘති ආරම්භ කෙරිණි:
සී-නෝර් කරෙයිනගර් බෝට්ටු යාත්‍රාංගණය:
දීර්ඝ කාලයක් පුරා අක්‍රියව පැවතීම හේතුවෙන් උතුරේ ධීවර ප්‍රජාව මුහුණ දුන් දැඩි දුෂ්කරතාවලට පිළියමක් ලෙස, ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ ආධාර ද සහිතව, රුපියල් මිලියන 330ක වියදමින් මෙම යාත්‍රාංගණය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ විය.
කොළඹුතුරේ ජැටිය ප්‍රතිසංස්කරණය:
ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ පහසුව සඳහා රුපියල් මිලියන 140ක වියදමින් කොළඹුතුරේ ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම.
උදයපුරම් මාර්ගය සංවර්ධනය:
ප්‍රදේශයේ ප්‍රවාහන පහසුකම් ඉහළ නංවමින්, රුපියල් මිලියන 65ක වියදමින් යාපනය උදයපුරම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
උත්සව සභාව අමතමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය:
"රට සංවර්ධනය කරන අතරතුර, යාපනය දිස්ත්‍රික්කය ගොඩනැගීමට අපි විශේෂ පියවර ගනිමින් සිටිනවා. මෙම ව්‍යාපෘති හරහා මෙහි ජීවත් වන ජනතාවට ස්ථිර ආදායම් මාර්ග නිර්මාණය වනු ඇත. විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනය අඩු ප්‍රදේශවල ජනතාවගේ ජීවිතවලට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම අප ආරම්භ කර තිබෙනවා. ධීවර වරායන් සහ තොටුපළවල් සංවර්ධනය කරන අතරම, ජනතාවගේ ගැටලු විසඳීමට අපි සැමවිටම ප්‍රමුඛත්වය දෙනවා."
මෙම ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ, යාපනය දිස්ත්‍රික්කයේ ධීවර, ප්‍රවාහන සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි නව පිබිදීමක් ඇති කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි