en banner

Beruwela1"අතීතයේ දූෂණය හා වංචාව මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කර අමාත්‍යාංශ ඒකාබද්ධව රට ගොඩනගන යුගය අරඹා තිබෙනවා" - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ රුපියල් මිලියන 76ක ආයෝජනයකින් ඉදිකරන ලද නව "බෝට්ටු දියත් මග" (Boat Launching Facility) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණි.

දේශීය බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 53කට අධික අපනයන ආදායමක් රටට ලබා දෙන අතර, නිෂ්පාදිත විශාල බෝට්ටු ආරක්ෂිතව මුහුදට මුදාහැරීමේදී මෙතෙක් පැවති තාක්ෂණික බාධාවන් ඉවත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ, මෙය හුදු ධීවර වරාය පහසුකමක් පමණක් නොව විදේශ විනිමය මෙරටට ගලා එන නව ආර්ථික මාවතක් බවයි. "අතීතයේ බෝට්ටු නිෂ්පාදනය කර මාර්ග හරහා ප්‍රවාහනය කිරීමේදී විදුලි රැහැන්වලට හානි වීම ඇතුළු දැවැන්ත බාධාවන්ට කර්මාන්තකරුවන් මුහුණ දුන්නා. මෙම ස්ථානයේදීම නිෂ්පාදන කටයුතු හා දියත් කිරීම් සිදු කිරීමෙන් එම පිරිවැය අවම කර ගත හැකියි. අපේ ඉලක්කය වන්නේ 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක් කරා මෙරට රැගෙන යාමයි," යැයි අමාත්‍යවරයා පැවසීය.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශ අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාව වත්මන් රජයේ සාර්ථකත්වයට හේතුව බවයි. "අතීතයේ දූෂණය හා වංචාව මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කර තිබෙනවා. අද අපි පෞද්ගලික ව්‍යවසායකයාගේ මිතුරු පාර්ශවයක් ලෙස කටයුතු කරන්නේ රට වෙනුවෙන්. දැනට පවතින ඩොලර් මිලියන 300ක ධීවර අපනයන ආදායම ඉදිරි වසර හතර තුළ ඩොලර් මිලියන 600 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කරනවා," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරියේදී ස්ටීල් හල් (Steel Hull) තාක්ෂණය සහිත යාත්‍රා නිෂ්පාදනයට යොමුවීමේ වැදගත්කම ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතියේ පරිපාලන හා නඩත්තු කටයුතු ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පවරා දීම ද මෙහිදී නිල වශයෙන් සිදු විය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව විශාල පිරිසක් සහභාගී වූහ.

Beruwela3

Beruwela4

Beruwela5

Beruwela6

Beruwela7

Beruwela8

නවතම පුවත්

Youtube