en banner

WhatsApp Image 2025 09 22 at 18.57.09ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ධීවර කටයුතු සම්බන්ධීකරණය කර, ජාතික මට්ටමින් ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් අද (22) දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය  රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, සියලුම පළාත් සභා නියෝජනය කරමින් පළාත් ප්‍රධාන ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, මධ්‍යම රජය සහ පළාත් සභා අතර පවතින සම්බන්ධීකරණයේ අඩුලුහුඬුතා නිසා සම්පත් අපතේ යාම සහ ව්‍යාපෘතිවල අකාර්යක්ෂමතාව ඉහළ යන බව පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී, මධ්‍යම රජය සහ පළාත් බලධාරීන් අතර පවතින පරතරය අවම කර, සම්පත් නාස්තිය වළක්වා ගනිමින්, විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. ඒ අනුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ පළාත් අමාත්‍යාංශ සමඟ එක්ව ජලාශ සඳහා ඒකාබද්ධ ව්‍යාපාර සැලසුම් සකස් කිරීමටත්, ස්වයං-පෝෂිත වන ලෙස මිරිදිය මසුන් තොග මුදා හැරීමේ තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් එකඟතාව පළ විය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, "පළාත් සභාවද, මධ්‍යම රජයද කියා භේදයකින් තොරව, අප සියලු දෙනා එක්ව මෙම ගමන යා යුතුයි. සම්පත් ඵලදායීව කළමනාකරණය කර, ධීවර කර්මාන්තය, විශේෂයෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය නංවාලීමට නම් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ අත්‍යවශ්‍යයි. රටක් ලෙස අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමේදී ධීවර කර්මාන්තයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙම ඒකාබද්ධ සැලැස්ම මගින්, අපට මධ්‍යම රජයෙන් සහ පළාත් සභාවලින් වෙන් කරන ප්‍රතිපාදන වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට අවස්ථාව ලැබෙනවා," යනුවෙන් පැවසීය.

2026 වසර සඳහා වන ඒකාබද්ධ මෙහෙයුම් සැලැස්මක් සකස් කිරීමට ද මෙහිදී තීරණය වූ අතර, මෙම ඒකාබද්ධ ප්‍රවේශය හරහා මෙරට ධීවර කර්මාන්තයේ නව පිබිදීමක් ඇති කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

WhatsApp Image 2025 09 22 at 18.57.13

WhatsApp Image 2025 09 22 at 18.57.13 1

WhatsApp Image 2025 09 22 at 18.57.14

WhatsApp Image 2025 09 22 at 18.57.09 1

 

නවතම පුවත්

Youtube