"අකාර්යක්ෂමතාව හේතුවෙන් පසුගාමීව සිටි ලංකා ධීවර සංස්ථාව නූතනත්වයට ගැලපෙන පරිදි යාවත්කාලීන වෙමින් තිබීම සතුටට කරුණක්. ධීවර සංස්ථා වෙළඳසැල් ඉහළ ගුණාත්මක බවක් සහිතව රට පුරා ස්ථාපිත වෙමින් පවතිනවා. ලංකා ධීවර සංස්ථාව පිළිබඳ ධීවරයන් සහ පාරිභෝගිකයන් තුළ වූ නරක ප්‍රතිරූපය වෙනස් කරන්න අපිට පුළුවන්"
අලව්ව සති පොළ ඉදිරිපිට ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව පැවසීය. 2022 සැප්තැම්බර් 21 වන දා මෙම උත්සවය පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පාරිභෝගිකයන් වෙත පහසු මිලට ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවකාශය ලබා දීම සිය අරමුණ බව සඳහන් කළේය.
"අපි නව වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ වගේම පාරිභෝගික විශ්වාසය බිඳ වැටුණු ලංකා ධීවර සංස්ථාවට අයත් පැරණි වෙළඳසැල් ජාලය නැවත පණගන්වමින් සිටිනවා. අලව්ව නගරයේ ඉදිවන මේ වෙළඳසැල ඊට කදිම උදාහරණයක්. අලව්ව්වෙදී, අලුත් තැනක අලුත් විදියට අපි වැඩ පටන් ගත්තා. පාරිභෝගික පහසුව හා වෙනෙන් සියලු පහසුකම් සහිතව මෙම වෙළඳසැල ඉදි කරලා තියෙන්නේ."
අලව්ව සති පොළ ඉදිරිපිට අංක 177 දරණ ස්ථානයේ ස්ථාපිත කොට ඇති මෙම ලංකා ධීවර සංස්ථා නව මත්ස්‍ය වෙළෙඳසැල හරහා 'සහන මිලට.. නියම බරට.. අළුත් මාළු' මිලදී ගැනීමේ අවකාශය උදා කර දී තිබේ. එසේම සියලු මිලගණන් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු සම්පාදනය කොට තිබේ.