en banner

piyal"දළ රළ සවිය ලෝක ධීවර දිනය 2023" - ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ධීවර දින සුබ පැතුම් පණිවුඩය

මහා සාගරයෙන් වට වූ අසිරිමත් දිවයිනට ශක්තිමත් සාගර ආර්ථිකයක් තිබිය යුතුමය. මහ සයුරින් පමණක් නොව අභ්‍යන්තරය ජලාශ රැසකින් ද පොහොසත් වූ අප ධීවර කර්මාන්තය හරහා ජාතික ආර්ථිකයට දැක්විය යුතු දායකත්වය සුළුපටු නොවේ. වත්මන් ධීවර අමාත්‍යංශය ලෙස අප කැපවී සිටින්නේ එම යුතුකම ඉටු කිරීම වෙනුවෙනි.

මාගේ අදහස අනුව ලෝක ධීවර දිනය යනු තවත් සැමරුමක් පමණක් නොව නව ගමනක ඇරඹුමක් ලෙසය. "දළ රළ සවිය 2022 " ලෝක ධීවර දින වැඩසටහන් පෙළින්, අපි එය රටට ඔප්පු කර පෙන්නුවෙමු. හුදු සන්දර්ශන සැමරුම් වෙනුවට ධීවර දිනයේ දී ධීවරයාගේ සැබෑ ගැටලුවලට සවන් දී ඒවාට විසදුම් ලබාදීමේ යාන්ත්‍රණය, නිර්මාණය කිරීමට අද වන විට අප සමත්ව සිටී.

නොවැම්බර් මාසයේ දී විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ කටයුතු වලට මූලිකත්වය ලබා දීමට සිදුවීම හේතුවෙන් ධීවර දින වැඩසටහන් පෙළ එළැඹෙන දෙසැම්බර් මාසයේ දී යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් සංවිධානය කිරීමට නියමිතය. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව සඳහා නව ධීවර තාක්ෂණික දැනුම ලබාදීම, මිරිදිය මත්ස්‍ය කර්මාන්ත සහ මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනය කිරීම ආදී අරමුණු සහිතව සැකසුණු විශේෂ වැඩසටහන් රැසක් ධීවර අමාත්‍යාංශ විසින් සංවිධානය කිරීමට යෙදෙයි.

ඊට අමතරව ධීවරයාගේ ගැටළු සොයා වෙළරට, වැවට, ගමට යෑම සඳහා ස්ථාපිත ධීවර ජංගම සේවය මෙවර යාපනය දිස්ත්‍රික්කයේ සංවිධානය වේ. ධීවර හැදුනුම්පත් සකස් කිරීම, යාත්‍රා ලියාපදිංචි කිරීම ආදීන් ගැටලු රැසක් ඉතා පහසුවෙන් නිරාකරණය කර ගැනීමට එමඟින් යාපනය ධීවර ප්‍රජාවට ඉඩකඩ සැලසෙනු ඇත.

ලෝක ධීවර දින ප්‍රධාන ජාතික වැඩසටහනට සමගාමීව ධීවර ප්‍රඥප්තිය එළිදැක්වීම, ධීවර රක්ෂණ ඔප්පු ප්‍රදානය, ධීවර විශ්‍රාම වැටුප් රෙගුලාසි එළිදැක්වීම් ආදි කටයුතු රැසක් ද සිදුවනු ඇත. මෙම සියළු වැඩසටහන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසකත්වය යටතේ ක්‍රියාත්මක වේ. අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ධීවර පවුල්වල දරුවන්ගේ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්ද මෙවර යාපනයේ දී සංවිධානය කිරීමට නියමිතය.

ධීවර දිනය එක් දින සැමරුමකට සීමා නොවන පරිදි යාවත්කාලීන වන වැඩපිළිවෙළක් බවට පරිවර්තනය කිරීම අපගේ අරමුණයි. ශක්තිමත් කර්මාන්තයක් ලෙසින් රටේ ජාතික ආර්ථිකයට සවියක් වීම සඳහා ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම අපගේ අපේක්ෂාවයි. ඒ අනුව මෙවර ධීවර දිනය දා අපි ඒ උදෙසා කැපවී සිටින බව සපථ කරමු.

"දළ රළ සවිය 2023 " යටතේ ධීවර දිනයේ සුපුරුදු සුබ පැතුමට එහා ගොස්, ධීවරයන්ගේ දිවිපෙවත සැබෑ ලෙසම සුබ වන කටයුතු රැසකට මුලපිරීමට සූදානම් වන බව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබවෙත සතුටු සිතින් දන්වා සිටිමි.

ධීවර දිනය වෙනුවෙන් සමස්ත ධීවර ප්‍රජාවට සුබ පැතුම්...!

Youtube