en banner

DSC 1068හලාවත ප්‍රදේශයේ ධීවර සංවිධාන රැසක් 2023.09.11 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී තම ප්‍රදේශය තුළ ධීවරයින්ට බලපාන ගැටලු රාශියක් පිළිබදව කරුණු ඉදිරිපත් කළේය.

මෙහිදි හලාවත ප්‍රදේශයේ පිහිටා ඇති ඉස්සන් වගා පොළවල් වලින් ඉවත්කරන අපජලය හා හලාවත මහරෝහලෙන් ඉවත දමන සායන අපද්‍රව්‍යද හේතුකොටගෙන හලාවත කලපුව විශාල ලෙස අපිරිසිදු වී මත්ස්‍ය සම්පතද විනාශ වෙමින් පවතින බව මෙහිදි මෙම ධීවරයින් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. මීට මාස දෙකකට පෙර අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරය කර මේවා දැක බලාගෙන කලපුව පිරිසිදු කරන ලෙස නිලධාරීන්ටඋපදෙස් ලබාදුන්නද තවමත් එය ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දුන්නේය.

මේහිදි කරුණු දැක්වු අමාත්‍යවරයා, හලාවත රෝහලෙන් බැහැර කර තිබු අපද්‍රව්‍යය දැනටමත් ඉවත් කර තිබෙන බව සහ සායනික අපද්‍රව්‍යද බැහැර නොකරන බවට තමාට වාර්ථා කර ඇති බව ප්‍රකාශ කලේය. මෙහිදි ධීවරයින් පිරිස එම ප්‍රකාශය පිලිනොගත් අතර මේ පිළිබදව සොයා බැලිමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයාට පැවසු  අතර, කලපුව පිරිසිදු කිරිමට අවශ්‍ය පියවර ගැනීමට ධීවර අමාත්‍යාංශය ඇතුලු අදාල නියෝජිතායතන වල තමන් පත්කළ කමිටුව කිහිප වතාවක්ම රැස් වී යම් යම් තීරණ ක්‍රියාත්මක කරමින් තිබෙන බවද, ඊළග කමිටු රැස්වීමට මෙම ධීවර සංගම්වල නියෝජිතයින්ද කැදවීම සදහා අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ ක‍ළේය.

පසුගිය දිනවල චීන රජයෙන් ධීවරයින්ට ලබාදුන් භූමිතෙල් ඉන්ධන තම ප්‍රදේශයේ ධීවරයන්ට ලබාදී නැති බව ධීවර නියෝජිත පිරිස පෙන්වා දුන් අතර මේ පිලිබදව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි දින දෙකතුළ එම ඉන්ධන නොලැබුණු ධීවරයින්ට පළමු වටයේ ඉන්ධන සමග භූමිතෙල් ඉන්ධන ලීටර් 150  බැගින් ලබාදීමටත්, පළමු වටයේ ඉන්ධන ලබාගත් ධීවරයින්ට ඉන්ධන ලීටර් 75 බැගින් ලබා දීමට කටයුතු කරණ අතර දිවයින පුරා ඉන්ධන ලබානොදුන් බෝට්ටු 29,057 ක් තිබෙන බවත්, ඉදිරි දිනවල එම සියලු බෝට්ටු වලට ද ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

හලාවත කලාපයේ ඉස්සන් ගොවිපලවල් 237ක් තිබෙන බවත්, මේවායින් සිදුවන අපජලය කලපුවට බැහැර කිරීම පිළිබදව තත්ත්වය සොයාබැලීම සදහා කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව දැනට ගොවිපලවල් 218 නිරීක්ෂණය කර ඇති බවද, ඉතිරි ප්‍රමාණය නිරීක්ෂණය කිරීමෙන් පසු දින 04ක් ඇතුලත තමන්ට ලබාදෙන වාර්ථාව අනුව අපජලය වැරදි ලෙස බැහැරකරන මෙම ගොවිපොලවල් සදහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රදේශයේ සමහර මාදැල් කරුවන් නීති විරෝධි ආකාරයට වින්චි ක්‍රමය මගින් වෙරළට හානිවන ආකාරයෙන් මැදැල් එලීම පිළිබදව නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු ප්‍රදේශවලටද හානි සිදු වී ඇති බව ප්‍රකාශ කල ධීවරයින් තමන්ටද එම නෞකාවේ රක්ෂණ සමාගමෙන් ලැබුණු වන්දි මුදල් ලබාදෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.මේ ප්‍රශ්න සම්බන්ධව තමන් මීපා,හා නාරා ආයතන සමග සාකච්ඡාකොට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද ඉන්දීය බොටම් ට්‍රෝලින් යාත්‍රාමගින් හලාවත හා කල්පිටිය බන්තලන්ගුණ්ඩුව ප්‍රදේශවල ධීවර සම්පතට හානි සිදුවන බව පෙන්වාදුන් ධීවරයින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නාලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර අද දිනම ජනාධිපතිතුමන් සමග සාකච්ඡාකර මේ පිළිබදව අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා ධීවරයින්ට ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර හා ජලජ සම්පත්  දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා,නැක්ඩා හා නාරා ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ඇතුලු උසස් නිලධාරින් පිරිසක් සහභාගි විය.   

Youtube