සුළි කුණාටුවේ බලපෑම නිසා ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් දරුණු ගංවතුරට ගොදුරු වී තිබේ.
පවුල් ගණනාවක් පීඩාවට පත්වීමත් සමඟ ජනතාව තම ජීවනෝපායන්ට බරපතල අභියෝගවලට මුහුණ දී සිටිති. ඒ අනුව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට ගොස් තත්ත්වය සෘජුව නිරීක්ෂණය කළේය.
අමාත්‍යවරයා පළමුව නවාතැන්වල සිටින අවතැන් වූ පවුල් හමුවී ඔවුන්ගේ ක්ෂණික අවශ්‍යතා, සෞඛ්‍ය තත්ත්වය සහ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසීය. අමාත්‍යවරයාගේ විධිවිධානය අනුව එහි රැඳී සිටින ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ ළදරු ද්‍රව්‍ය ඇතුළු හදිසි සහන ද්‍රව්‍ය ලබා දෙන ලදී.
ජල මට්ටම ඉහළ යාමෙන් ඇතිවන සෞඛ්‍ය උපද්‍රව වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් ඉක්මනින් ස්ථාපිත කිරීම සහතික කිරීම සඳහා අමාත්‍යවරයා සෞඛ්‍ය නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීය. ගංවතුර නිසා පැතිර යා හැකි බෝවන රෝග පාලනය කිරීම සඳහා පියවර ගැනීම, වෛද්‍ය කණ්ඩායම් යැවීම, හදිසි වෛද්‍ය සැපයුම් බෙදා හැරීම යනාදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරයා, දිස්ත්‍රික් ලේකම්, පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ආරක්ෂක හමුදා සමඟ හදිසි සම්බන්ධීකරණ රැස්වීමක් ද පැවැත්වීය. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීම, පහත් බිම්වල රැඳී සිටින පවුල් ආරක්ෂිත කඳවුරුවලට ගෙන යාම සහ බෝට්ටු පහසුකම් ලබාදීම, ඇතළු සහන ලබා දීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ඔහු නියෝග කළේය.
විශේෂයෙන්, උතුරු පළාතේ සමහර ප්‍රදේශවල තවමත් සිරවී සිටින පවුල් බේරා ගැනීම සඳහා අතිරේක ගලවා ගැනීමේ කණ්ඩායම් යවා ඇත. විදුලිය, පානීය ජලය සහ මාර්ග සම්බන්ධතාවය ඇතුළු මූලික පහසුකම්වලට බලපෑම් එල්ල වී ඇති බැවින්, ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු සිදු කෙරෙමින් පවතී.
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව පළමු ප්‍රමුඛතාවය බවත්, රජය වෙනුවෙන් සහන සහ ගලවා ගැනීමේ පියවර කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන බවත් අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා සහතික විය.
වැස්ස පහව යන තුරු අවදියෙන් සිටින ලෙස නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.









