en banner

DSC 0825 1හලාවත ධීවර කලපුවට, එම ප්‍රදේශයේ ගොවිපලවල අප ජලය, හලාවත මහ රෝහලේ හා නගර සභාවේ අප ද්‍රව්‍ය මුදා හැරිම හේතුකොටගෙන කලපුව බලවත් ලෙස අපිරිසිදු වීම නිසා කලපුවේ ධීවර කටයුතු වල යෙදුනු ධීවරයින්ට සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකිව බලවත් අපහසුතාවයට පත් වී සිටින බව 2023.05.22 වන දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍යවරයා හමු වී එම ධීවර නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.

හලාවත ප්‍රදේශයේ පවතින ඉස්සන් ගොවිපල වලින් පිටකරන අප ජලය පිරිසිදු නොකොට කලපුවට මුදාහැරීම නිසා එම අප ජලයේ ඇති රසායනික ද්‍රව්‍ය හේතුකොට ගෙන කලපුවේ මාළු විශාල ප්‍රමාණයක් මියයන බවත්, අනෙකුත් ජලජ ජීවින්ද විනාශ වන බව පෙන්වාදුන් එම ධීවරයින් එම නිසා කලපුව තුළින් විශාල දුර්ගන්ධයක් මතුවන බවද, එසේම කිවුල් ජල මූලාශ්‍ර විනාශ වන බවද අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

තවද හලාවත මහරෝහලේ සියලුම අපද්‍රව්‍ය හා නගර සභාවේ කුණු කසලද කලපුවට එක් කරන බැවින් කලපුව ගොඩ වී ඇති බවත්, එය සුද්ධ පවිත්‍ර කිරීම සෑහෙන කාලයක සිට සිදු නොවී තිබෙන බවද අමාත්‍යවරයාට නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

මෙහිදි අමාත්‍යවරයා නාරා සහ නැක්ඩා ආයතනවල නිලධාරීන්ට හෙට දිනයේම වහාම මේ පිලිබදව පරික්ෂාකර වාර්තාවක් ලබාදෙන ලෙසත්, මෙම කටයුත්තට අදාල වන ආයතන වන හලාවත නගර සභාවේ ලේකම්, ප්‍රාදේශීය සභාවේ ලේකම්, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ප්‍රාදේශීය ලේකම් වරුන් හා වයඹ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ද, ඇතුලු අමාත්‍යංශයේ නිලධාරීන්ද කැටුව තමන් ලබන සෙනසුරාදා මේ පිලිබදව ස්ථාන පරික්ෂාවක යෙදෙන බවද පැවසු අමාත්‍යවරයා ඉන්පසු මේ සදහා වහාම පිලිතුරු ලබාදෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.     

Youtube