ශක්තිමත් කිරීමේ අරමුණින් ඕමාන් රාජ්‍යයේ ඉහළ පෙළේ කාර්මික නියෝජිත පිරිසක් සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (14) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වෙනුවෙන් දූත පිරිස පිළිගත් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, මෙරට ධීවර ක්ෂේත්‍රය තුළ පවතින සෘජු විදේශ ආයෝජන (FDI), රජයන් අතර හවුල්කාරිත්වයන් (G2G) සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPP) සඳහා පවතින පුළුල් අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි කළේය. තාක්ෂණය සහ දැනුම හුවමාරු කර ගැනීමට අමාත්‍යාංශය විවෘතව සිටින බව ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
අද උදෑසන පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඕමාන් දූත පිරිස මෙරට පවතින ආයෝජන විභවතාවන් සෘජුව අධ්‍යයනය කිරීම සඳහා මේ වන විට විශේෂ ක්ෂේත්‍ර චාරිකා මාලාවකට එක්ව සිටිති. අද දිනය පුරා පැවැත්වෙන මෙම නිරීක්ෂණ චාරිකාවලට ඇතුළත් ප්‍රධාන අංශ කිහිපයක් පහත දැක්වේ:
යාත්‍රා නිෂ්පාදනය හා අලුත්වැඩියාව: ලංකා ධීවර සංස්ථාව (CFC) සහ ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) යටතේ පවතින යාත්‍රාංගන (Dockyards) අලුත්වැඩියා කටයුතු සහ ශීතාගාර සංවර්ධන මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම.
සීනෝර් (Ceynor) යාත්‍රාංගණය: සීනෝර් ආයතනය විසින් මොරිෂස් රාජ්‍යය සඳහා නිපදවන උසස් ප්‍රමිතියෙන් යුත් යාත්‍රා නිරීක්ෂණය කිරීමට නියමිත අතර, එහිදී වානේ, ඇලුමිනියම් සහ HDPE යාත්‍රා මෙන්ම පාවෙන නිවාස (Floating houses) ව්‍යාපෘතිය සඳහා පවතින ඒකාබද්ධ සහයෝගීතා අවස්ථා පිළිබඳව කරුණු හුවමාරු කර ගැනේ.
දැල් නිෂ්පාදනය: ලුනුවිල පිහිටි නෝර්ත් සී (Northsea Ltd) ආයතනය හරහා උසස් ප්‍රමිතියේ ධීවර දැල් නිෂ්පාදනය සඳහා වන ආයෝජන අවස්ථා සොයා බැලීම.
ඉස්සන් වගාව: මෙරට පවතින ඉස්සන් වගා ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ හුවමාරුව සහ ඉස්සන් පසු-කීටයන් (Post-larvae) සැපයීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම.
මත්ස්‍ය පිරිසැකසුම්කරණය: යුරෝපා සංගමයේ (EU) අනුමැතිය ලත් මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීම. ඕමාන් කර්මාන්ත සමඟ ඒකාබද්ධව මෙරට පිරිසැකසුම් හා ටින් මාළු කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.
මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් සීනෝර් ආයතනය නිපදවන නවීන යාත්‍රා මෙන්ම පාවෙන නිවාස ව්‍යාපාරය, දැල් නිෂ්පාදනය සහ මත්ස්‍ය ටින් කිරීමේ කර්මාන්තය සඳහා ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම කෙරෙහි දූත පිරිසේ විශේෂ අවධානය යොමු වී ඇත. මෙම සංචාරය හරහා දෙරට අතර ධීවර ක්ෂේත්‍රයේ ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනැගෙනු ඇතැයි ලේකම්වරයා විශ්වාසය පළ කළේය.







