en banner

WhatsApp Image 2026 05 13 at 19.03.42එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව සහ දකුණු කොරියානු රජයේ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක වූ “ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය මගින් ස්මාර්ට් හා තිරසාර ජලජීවී වගාවක්” පිළිබඳ සිව් අවුරුදු ව්‍යාපෘතියේ සමාප්ති වැඩමුළුව ඊයේ (12) කොළඹදී සාර්ථකව පැවැත්විණි. 

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ඉහළ තරඟකාරිත්වය ජය ගැනීම සඳහා කඩිනමින් නවීකරණය විය යුතු බවයි.

“ඉස්සන් වගාව යනු අපේ රටේ ආහාර සුරක්ෂිතතාවට මෙන්ම විදේශ විනිමය උත්පාදනයට සුවිශාල දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක්. දේශගුණික විපර්යාස සහ රෝග ව්‍යාප්තිය වැනි අභියෝග හමුවේ වුවද, මෙම ව්‍යාපෘතිය හරහා හඳුන්වා දුන් ඩිජිටල් තාක්ෂණය සහ ජෛව ආරක්ෂණ පද්ධති භාවිත කරමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීමට අපේ වගාකරුවන්ට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. වගාකරුවන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, නවෝත්පාදන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රජය සැමවිටම කැපවී සිටිනවා,”
යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ 'ජාතික ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය' (Shrimp Industry Information System - SIIS) ස්ථාපිත කිරීමයි. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙය හුදු තාක්ෂණික මෙවලමකට වඩා රාජ්‍ය පාලන යන්ත්‍රණයේ සිදු කළ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක් බවයි.

'සෙන්සර්' (Sensors) තාක්ෂණය මගින් වගා බිම්වල ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමටත්, රෝග ව්‍යාප්තිය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීමටත් මෙමගින් හැකියාව ලැබේ. මීට අමතරව, මුහුදු කකුළුවන්, මුහුදු පැලෑටි සහ විසිතුරු මසුන් වගාව වැනි අනෙකුත් අංශ සඳහා ද ඉදිරියේදී මෙම ඩිජිටල් තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් 128,000 වටිනා නවීන විද්‍යාගාර උපකරණ සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් NAQDA ආයතන වෙත පිරිනමා ඇත. එසේම නිෂ්පාදකයින් 450ක් සහ රජයේ නිලධාරීන් 190ක් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ද පවත්වා තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය, NAQDA සහ NARA ආයතනවල සභාපතිවරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 05 13 at 19.03.42 1

WhatsApp Image 2026 05 13 at 19.03.44

WhatsApp Image 2026 05 13 at 19.03.44 1

WhatsApp Image 2026 05 13 at 19.03.45

නවතම පුවත්

Youtube