en banner

WhatsApp Image 2026 05 11 at 16.57.50රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 යන දින දෙක තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000 ඉක්මවූ අතිවිශාල මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) නිවේදනය කරයි.

නෙළා ගන්නා ලද මෙම මත්ස්‍ය අස්වැන්නේ සම්පූර්ණ වටිනාකම රුපියල් එක් කෝටි නව ලක්ෂ නව දහස් තුන්සිය අනූ තුනක් (රු. 10,909,393/=) පමණ වේ.

බලන්ගොඩ ඇතුළු උඩවලව ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම වාර්තාගත අස්වැන්න ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත. මෙලෙස ලැබුණු අස්වැන්න (කි.ග්‍රෑ. 35,469) අතර කැට්ලා (Catla) කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් (Mrigal) කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා (Tilapia) කිලෝග්‍රෑම් 1,009ක් අඩංගු වේ.

මෙම මත්ස්‍ය අස්වැන්නෙන් සැලකිය යුතු තොගයක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත යැවීමට පියවර ගෙන ඇත. මෙමගින් ප්‍රදේශයේ ධීවර කාර්මිකයින් 313 දෙනෙකුට සෘජු ආර්ථික ප්‍රතිලාභ හිමි වූ අතර, තවත් පුද්ගලයින් 1,650 කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදාවිය. අඩු මුදලකට ගුණාත්මක සහ නැවුම් මිරිදිය මසුන් පාරිභෝගිකයාට ලබා දීමට හැකිවීමත්, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමටත් මෙමගින් මනා පිටුවහලක් ලැබුණි.

මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මෙම වසර තුළදී මුළුමනින්ම උඩවලව ජලාශය තුළ මිරිදිය මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

මෙරට මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සහ පෝෂණ මට්ටම නංවාලීම රජයේ මූලික අපේක්ෂාව බව අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

WhatsApp Image 2026 05 11 at 16.57.50 1

WhatsApp Image 2026 05 11 at 16.57.51

WhatsApp Image 2026 05 11 at 16.57.51 1

WhatsApp Image 2026 05 11 at 16.57.51 2

නවතම පුවත්

Youtube