en banner

WhatsApp Image 2026 04 22 at 14.12.38නෝර්වේහි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බර්ගන් ප්‍රාන්ත සභාවේ ප්‍රධානී (Chief of County Council) ක්‍රිස්ටීන් බී. මේයර් (Christine B. Meyer) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සමඟ ඊයේ (21) විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා නෝර්වේ රාජ්‍යයේ නිර්වේතනික කොන්සල් ස්ටර්ල් එච්. පෙඩර්සන් මහතා ද එක්ව සිටියේය.

මෙහිදී පැවැත්වූ ප්‍රධාන සාකච්ඡා සහ එහි ප්‍රතිඵල පහත පරිදි වේ:

ධීවර යාත්‍රා සඳහා විදුලි හා හයිඩ්‍රජන් තාක්ෂණය:
ලොව ප්‍රමුඛතම සමුද්‍රීය බලශක්ති විසඳුම් සපයන ‘Corvus Energy’ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවැති සාකච්ඡාවේදී, ධීවර යාත්‍රා සඳහා බැටරි බලශක්තිය සහ හයිඩ්‍රජන් ඉන්ධන සෛල (Fuel Cell) තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව අවධානය යොමු විය. කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය නිෂ්පාදනය කළ යාත්‍රා කිහිපයකට දැනටමත් මෙම සමාගම බැටරි පද්ධති සපයා ඇත. ඉන්ධන පිරිවැය සහ කාබන් විමෝචනය අවම කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාව තුළ මෙවැනි බැටරි පද්ධති එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් හෝ නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ආපදා කළමනාකරණය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ හදාරා බැලීම:
බර්ගන් ප්‍රාන්තයේ හදිසි සූදානම් කිරීම් සහ සිවිල් ආරක්ෂණ අංශයේ (Emergency Preparedness) ප්‍රධානී ඇග්නාර් ට්වෙටන් (Agnar Tveten) මහතා සමඟ පැවති හමුවේදී නෝර්වේ රාජ්‍යය ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව සහ පද්ධතීන් සූදානම් කර ඇති ආකාරය පිළිබඳව කරුණු හදාරන ලදී. ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා මාස හයක අත්‍යවශ්‍ය ඖෂධ තොග පවත්වාගෙන යාම, පෞද්ගලික අංශයේ දේපළ හදිසි අවස්ථාවකදී රජයට භාවිත කිරීමට ඇති නීතිමය හැකියාව සහ ජනතාව පූර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මෙම අත්දැකීම් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සැලසුම් වඩාත් විධිමත් කිරීමට යොදාගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නිල සංචාරය සඳහා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා ද එක්ව සිටිති.

නවතම පුවත්

Youtube