අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ, එම ප්‍රදේශයේ පවතින කුඩා යාත්‍රා නැවතුම්පොළ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතී.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති සංචාරක මණ්ඩලය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහභාගී විය. එමෙන්ම, මෙම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ධීවර ප්‍රජාවද, අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් ද මේ සඳහා සහභාගී වූහ.
මෙහි ප්‍රධාන අරමුණ වනුයේ:
දැනට සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයේ කුඩා යාත්‍රා නතර කර තැබීමෙන් සංචාරක කටයුතුවලට සිදුවන බාධා ඉවත් කරමින්, එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංචාරකයින් සඳහා වෙන් වූ වෙරළ තීරයක් වශයෙන් සංවර්ධනය කිරීමයි. ඒ අනුව, දැනට පවතින ධීවර නැංගුරම්පොළ වෙනත් සුදුසු ස්ථානයකට ගෙන ගොස්, ධීවර ප්‍රජාවට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට සියලු පහසුකම් සහිතව නව ධීවර නැවතුම්පොළක් ස්ථාපිත කිරීම අපේක්ෂාවයි. මේ යටතේ, මෙම සංචාරක කලාපය විශාල වශයෙන් දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව ධීවර නැංගුරම්පොළේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පහසුකම්:
ධීවරයින් සඳහා අවශ්‍ය වන දැල් සැකසුම් මධ්‍යස්ථාන, ධීවරයන්ගේ එන්ජින් යාත්‍රාවල එන්ජින් තබා ගන්නා ස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, ජල පහසුකම්, ආරක්ෂාව සඳහා අවශ්‍ය ආරක්ෂක ගොඩනැගිලි, මත්ස්‍ය අලෙවිය සඳහා අවශ්‍ය වෙන්දේසි ශාලා සහ ධීවර පරීක්ෂක කාර්යාලයක් ඇතුළු අවශ්‍ය මූලික පහසුකම් සියල්ලම අලුතෙන් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.