Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
15 October 2026
යාන් ඔය ජලාශයේ කූඩු තුළ මත්ස්‍ය වගා ව්‍යාපෘතියෙන් අතිසාර්ථක අස්වැන්නක් සමඟින් රුපියල් ලක්ෂ 7කට ආසන්න ආදායමක්...

ජාතික මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් යාන් ඔය ජලාශය ආශ්‍රිතව ක්‍රියාත්මක කළ කූඩු තුළ මත්ස්‍ය නිෂ්පාදන නියමු ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක අස්වැන්නක් ලබා ගනිමින් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සත්ත්ව ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සඳහා මත්ස්‍ය නිෂ්පාදනයට ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර, වාර්ෂික මත්ස්‍ය සැපයුම් හිඟය පියවීමට අවශ්‍ය අතිරේක මත්ස්‍ය ටොන් 300,000ක ප්‍රමාණය සපුරා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය තිරසර විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත.

සාම්ප්‍රදායිකව ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදාහැරීම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ප්‍රධාන ක්‍රමවේදයක් වුවද, ඊට වඩා කූඩු තුළ මත්ස්‍යයන් පාලන තත්ත්ව යටතේ වර්ධනය කිරීමෙන් අස්වැන්න හා වර්ධනය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකි බව මෙම ව්‍යාපෘතියෙන් තහවුරු වී ඇත.

මෙම නියමු ව්‍යාපෘතියේ මූලික අදියර ලෙස 2026 මැයි 18 වන දින මත්ස්‍ය ඇඟිල්ලන් 15,000ක් උසස් ඇඟිල්ලන් ලෙස වර්ධනය කිරීම ආරම්භ කෙරුණු අතර, ඉන් අනතුරුව ග්‍රෑම් 50කට වඩා බරින් යුත් උසස් ඇඟිල්ලන් 3,600ක් පසුගිය ජූලි 30 වන දින මත්ස්‍ය නිෂ්පාදනය සඳහා හඳුන්වා දුන් රවුම් කූඩුවට තැන්පත් කරනු ලැබීය.

ආහාරයට ගන්නා මත්ස්‍යයන් වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට රවුම් කූඩු ක්‍රමයක් භාවිත කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

මෙම ව්‍යාපෘතියේ අස්වනු නෙළීම අද (15) දින සිදු කෙරුණු අතර, එහිදී මත්ස්‍යයන් 2,996 දෙනෙකුගෙන් කිලෝග්‍රෑම් 1,202ක සමස්ත අස්වැන්නක් ලබා ගැනීමට පලමු අවස්ථාවෙන්ම  හැකි වී තිබීම සුවිශේෂී දෙයකි. මෙම සාර්ථක අස්වැන්න මඟින් රුපියල් 696,000ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති අතර, එය මෙවැනි ව්‍යාපෘතිවල වාණිජමය විභවය මනාවට පැහැදිලි කරන්නකි.

නෙළාගත් අස්වැන්නෙන් මත්ස්‍ය කිලෝග්‍රෑම් 500ක් ලංකා ධීවර සංස්ථාව විසින් මිලදී ගත් අතර, තවත් කිලෝග්‍රෑම් 660ක් ප්‍රදේශයේ පෞද්ගලික මත්ස්‍ය අලෙවිකරුවෙකු විසින් මිලදී ගෙන ඇත. මෙම අලෙවි කටයුතු සිදු වී ඇත්තේ කිලෝග්‍රෑමයක් රුපියල් 600ක මිලක් යටතේය.

සාම්ප්‍රදායික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ක්‍රමවේදයන්ට අමතරව නව තාක්ෂණික ප්‍රවේශයන් හඳුන්වා දීමේ මෙම ආදර්ශ ව්‍යාපෘතියෙන් ලැබූ අත්දැකීම්, ඉදිරියේදී සුදුසු ජලාශ ආශ්‍රිතව මෙම ක්‍රමවේදය පුළුල් කිරීමට මනා පිටිවහලක් වනු ඇත.

අස්වනු නෙළීමේ මෙම සුවිශේෂී අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති තරංග ප්‍රසාද් ජයවර්ධන මහතා, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (ව්‍යාප්ති) ආර්. එච්. පොතුවිල මහතා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම යාන් ඔය ධීවර ප්‍රජාව ද එක්ව සිටියහ.