Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
14 August 2026
මඩකලපුව ධීවර කර්මාන්තය නැංවීමට පුළුල් සැලසුම් – අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සෘජුවම හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින් මඩකලපුව දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි.

මඩකලපුව දිසාපති ජේ. එස්. අරුල්රාජ් මහතාගේ සංවිධානයෙන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නැංවීම සහ ධීවරයන්ගේ ගැටලුවලට සුදුසු විසඳුම් ලබාදීමේ අරමුණින් පැවැති මෙම රැස්වීමේදී ධීවරයන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වාළච්චේන ධීවර වරාය සංවර්ධනය කිරීම, ධීවරයින් සඳහා ගොඩනැගිලි ඉදිකිරීම, තොටුපළවල විදුලි ආලෝකය සපයාදීම, අක්‍රිය වී ඇති අයිස් කර්මාන්ත ශාලාව නැවත ක්‍රියාත්මක කිරීම, ධීවර මාර්ග සකස් කිරීම, වගා ළිං/කුඩා ජලාශවල මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම සහ දිස්ත්‍රික්කයේ කුඩා වැව් සංවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය.

තවද, ධීවරයන්ගේ අවශ්‍යතා සපයා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් පිහිටුවීම, ධීවර කටයුතුවලදී මතුවන අභියෝගවලට විසඳුම් සෙවීම, ධීවරයන්ගේ ජීවනෝපාය නැංවීමට පියවර ගැනීම සහ ධීවර සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම පසුගිය කාලයේ අනුමත කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර, නීති විරෝධී ධීවර කටයුතු පාලනය කිරීම, ධීවර උපකරණ සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම, මුහුදු හා අභ්‍යන්තර ජලාශවල ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ධීවර සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

ධීවර සමිති විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් කරුණු පැහැදිලි කළ අතර, ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදීමට ගනු ලබන පියවර පිළිබඳවද සාකච්ඡා විය.

මෙම රැස්වීම සඳහා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කන්දසාමි ප්‍රභූ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමාණික්කම් ශානක්කියන්, ඥානමුත්තු ශ්‍රීනේෂන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර ක්ෂේත්‍රයට අදාළ ආයතනවල නියෝජිතයින්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.