en banner

DSC 0363ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වන තේ, රබර්, පොල් වලට අමතරව වැඩිම අපනයන ආදායමක් ලබා දෙන ඉස්සන් කර්මාන්තය නංවාලීම සදහා අවශ්‍ය සම්පූර්ණ රාජ්‍ය සහයෝගය ධීවර අමාත්‍යාංශය මගින් ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.08.11 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවති ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සංගමයේ නියෝජිතයන්ගේ (SLADA) හා ඊට අදාල අමාත්‍යාංශයේ ආයතන වන නැක්ඩා, නාරා හා ධීවර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

මෙම වර්ෂයේ ඉස්සන් වගාව තුලින් මෙට්ට්‍රික් ටොන් 50000ක ඉලක්කයක් ලබා ගෙන විදේශගත කිරීමට බලාපොරොත්තු වුවත් ඉස්සන් වගාව මේ වන විට මුහුණ පා ඇති දිලීර හා පරපෝෂිතයින්ගේ ගැටළු හේතුකොට ගෙන එම ප්‍රමාණය අඩාල වී ඇති බවත් මෙම පරපෝෂිත හා දිලීර ගැටළුවට මුහුණදීම සදහා නැක්ඩා හා නාරා ආයතනවලට පර්යේෂණ පවත්වා ලබා දිය හැකි ප්‍රතිකර්ම ලබා දීම සදහා ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන ආයතනයේ නියෝජිතයන් මෙහිදී කල ඉල්ලීමට අමාත්‍යවරයා එවලේම ප්‍රතිචාර දක්වන ලදි. ඒ අනුව නැක්ඩා ආයතනය මගින් ගෙන්වා ඇති පර්යේෂණ කට්ටල් වලින් යම් ප්‍රමාණයක් නාරා ආයතනය ඇනවුම් කර ඇති ප්‍රමාණය ලැබෙන තෙක් නැක්ඩා ආයතනයෙන් නාරා ආයතනයට පර්යේෂණ උපකරණ ලබා දෙන ලෙසට උපදෙස් ලබා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ ඉස්සන්ට අනෙකුත් රටවල ඉස්සන්ට වඩා ඉල්ලුමක් ඇති බවත් එම නිසා මෙම ඉස්සන් වගාව ආරක්ෂාකර ගැනීම අප රටට අතිශය වැදගත් වන බව පැවසූ අමාත්‍යවරයා මේ හේතු කොට ගෙන ලංකාවේ ඉස්සන් වගාව විනාශ කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිදුවිය හැකි බවද එම නිසා ඒවා ගැන සුදානමින් සිට ඉස්සන් වගාවට එන අනතුරු ගැන විමසිල්ලෙන් සිටිය යුතු  බව පෙන්වා දුන්නේය. තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා තිබෙන දිලීර හා පරපෝෂිතයන් විනාශ කිරීමෙන් පසු නැවත ඇති විය හැකි බැවින් ඒ පිළිබදවද නැක්ඩා හා නාරා අයතන නිලධාරින් අවධානයෙන් සිටිය යුතු බවද ප්‍රකාශ කලේය. මෙහිදී ඉස්සන්ට ලබා දෙන ආහාර ගෙන්වීමේදී බදු ඉවත් කිරීම පිළිබද ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාවට හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය වර්ථමාන ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගී වු අතර මෙහිදී අදහස් දක්වමින් වයඹ පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස තමන් සිටි අවධියේ ලබා ගත් කරුණු පිළිබදව විග්‍රහයක් කලේය.

මෙහිදී හලාවත හා පුත්තලම අතර ඉස්සන් වගා කලාපය තුළ තිබෙන හලාවත කලපුව හා ඉස්සන් වගා කලාපයේ අතර ඇති කාණු පද්ධතිය පිළිසකර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කලේය.

තවද මෙම කලාපයෙන් දිවෙන ඕලන්ද ඇල සංවර්ධනය පිළිබදවද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, නැක්ඩා ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත විජේරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් අශෝකා මහත්මිය ඇතුළු, නාරා ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Youtube