en banner

express perl 2 1එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සදහා සිව්වන අදියරේ වන්දි මුදල් ලබාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.11 වන දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුකොට ගෙන පනවන ලද ධීවර තහනම් කළාපය හේතුවෙන් ජීවිකාව අහිමි වූ ධීවරයන් පහළොස්දහසක පමණ පිරිසක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවන පන්දහසකට ආසන්න පිරිසක් නියෝජනය වන පරිදි හා තෝරාගත් ධීවරයන් හා ධීවර කර්මාන්තය නිරතවන්නන්ගෙන් දැල් ආම්පන්න වලට හානි වු ධීවරයන් තිස් දෙනෙකුට පමණ මෙහිදී සංකේතාත්මකව වන්දි චෙක්පත් බෙදා දෙනු ලැබීය. සෙසු සියලු වන්දිලාභීන්ට ඔවුන් ජීවත්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වන්දි ලබාදීමට කටයුතු කරනු ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගර පරිසරයට එක්වූ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් දැල් ආම්පන්නවලට හානි සිදුවූ ධීවරයන් 20 දෙනෙකුට පමණ ඔවුන්ට සිදුවූ අලාභය සඳහා නැවේ රක්ෂණ ආයතනය වෙතින් ලද වන්දි මුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. මේ වනවිට ධීවර ක්ෂේත්‍රයේ වන්දි ප්‍රදානය වෙනුවෙන් නෞකාවේ රක්ෂණ ආයතනය විසින් රු. මිලියන 3068 (කෝටි 300 කට අධික මුදලක්) ක පමණ මුදලක් ලැබී ඇති අතර පළමු වට තුනේදී ලද රු. මිලියන 1463 (කෝටි 146) ක පමණ මුදලක් ජීවිකාව අහිමි වූ ධීවරයන් වෙත මේ වන විටද බෙදා දී ඇත.

සිව්වන වටයේ වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත රු. මිලියන 1605 (කෝටි 160. 5) ක පමණ මුදලක් ලැබී ඇති අතර සිව්වන වටය අවසන් වනවිට ජීවිකාව අහිමි වූ එක් ධීවරයෙකුට තම රැකියා කාණ්ඩය අනුව රු. 112,500 සිට රු. 295, 000 දක්වා වන මුදලක වන්දියක් හිමිවේ. දින 22 ක් පමණක් ධීවර තහනම පැවති මිගමුව කලපුව ආශ්‍රිතව ධීවර කටයුතුවල නියලෙන ධීවරයන්ට පවා අවම වශයෙන් රු. 45,000 ක පමණ වන්දි මුදලක් හිමිව ඇත.

ධීවර ආශ්‍රිත වක්‍ර රැකියාවල නිරතවන මත්ස්‍ය අලෙවිකරුවන්, කරවල නිෂ්පාදකයන්, දැල් ආම්පන්න අලෙවිකරුවන්, බෝට්ටු අලුත්වැඩියා කරන්නන් වැනි පුද්ගලයන්ට ද ධීවර තහනම හේතුවෙන් සිදුවූ අලාභය සඳහා ඔවුන්ගේ රැකියා කාණ්ඩය අනුව රු. 22,500 සිට රු. 336,000 දක්වා වන වන්දි මුදලක් හිමිව ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට සිදුවූ සෘජු හානි සම්බන්ධ සොයා බැලීමට ධීවර අමාත්‍යංශය මගින් පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තා හා වන්දි ඉල්ලීම් 06 ක් ධීවර අමාත්‍යංශය විසින් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත මීට පෙර ඉදිරිපත් කර ඇත. මෙහි මුල්ම වාර්තාව අනතුර සිදුවී සති දෙකක කාලයක් තුළ ඉදිරිපත් කරන ලද අතර 06 වන වාර්තාව 2022 වසරේ ජූලි මාසයේදී ඉදිරිපත් කර ඇත. මෙම කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කමිටුවේ සභාපති ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ධම්මික රණතුංග හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් විසින් ධීවර අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියේ මේ අවාසනාවන්ත සිද්ධිය වුන වහාම ගරු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමා අදාල සියළු දෙනාම කැඳවා ධීවර ජනතාව වෙනුවෙන් මේ ඇති වුන ඛේදනීය සිද්ධිය සම්බන්ධව මැදිහත් වෙලා ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබූ අතර අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරමින් ධීවර ජනතාව වෙනුවෙන් රජයෙන් කල යුතු යම් වැඩ කොටසක් වේ නම් ඒ කටයුත්ත ඉතාමත්ම නිවැරදිව හා විධිමත් ආකාරයෙන් කඩිනමින් ජනතාවට ඒ අවශ්‍ය කරන සහනයක් සලසා දෙන බවයි. විශේෂයෙන්ම ගරු ඩග්ලස් දේවානන්දා අමාත්‍යතුමාට සහ මේ වෙනුවෙන් කටයුතු කරපු සියළු නිලධාරීන්ටද ස්තුතිය පුද කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය සිදු වු අවස්ථාවේ සිට මාගේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙමින් ධීවර කාර්මිකයා රැක ගැනීමට කටයුතු කල අතර වන්දි ලබා ගැනීම එම වන්දි මුදල් සාධාරණ ලෙස හානියට පත් ධීවරයන් වෙත ලබා දීමට කටයුතු කරන අතර ධිවර කාර්මිකයා නැවත රැකියාවට යන තත්වයට ගෙන ඒමට විශාල කාර්යක් කරමින් සිටී. එහෙත් පසුගිය කාලය පුරා විවිධ දේශපාලන කණ්ඩායම් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර රජයේ කටයුතු විවේචනය කරමින් කඩාකප්පල් කිරීමට මාන බලමින් සිටින බව පෙනී ගියා. එහෙත් අපගේ ධීවර කාර්මිකයන් එවැනි උගුල් වලට හසු නොවී තමන්ට හිමි වන්දි මුදල් ලබා ගනිමින් නැවත ධීවර කර්මාන්තයට නැඹුරුවීමට කටයුතු කරමින් සිටීම සතුටට කරුණක් බවත් ධීවරයන් වෙනුවෙන් මෙම වන්දි මුදල් ලබා ගැනීමේදී රජයක් ලෙස එක්ව කටයුතු කිරීමේදී ගරු ජනාධිපතිතුන් ප්‍රමුඛ හිටපු ධිවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, විජේදාස රාජපක්ෂ  හා අලිස්සබ්‍රි යන අමාත්‍යවරුන්ගේ සහයෝගය නිබදවම ලැබුණු අතර ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනැමීම තම යුතුකම වන බවත් විපක්ෂය කුමන කථා කීවද ධීවරයන් සදහා ඉදිරියේදී ලබා ගැනීමට හැකි උපරිම වන්දි මුදල් ලබා දීමට අමාත්‍යාංශය ලෙස පියවර ගන්නා බව එතුමා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සදහා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, අතිරේක ලේකම් (ධීවර සම්පත් කලමනාකරණ) ධම්මික රණතුංග, අතිරේක ලේකම් නාමල් තලංගම යන මහත්වරුන් ඇතුළු ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ධීවර සංගම් ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

express perl 3

express perl 4

express perl 6

express perl 8

express perl 9

Youtube