en banner

WhatsApp Image 2025 11 03 at 14.54.19 1ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිඩ් බින් හමුද් අල්-කහ්තානි මහතා අතර සුහද හමුවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී තාක්ෂණික සහයෝගීතාවය, ආයෝජන අවස්ථා සහ දැනුම හුවමාරුව වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සෞදි අරාබිය කැපවී සිටින බව තානාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

සෞදි අරාබියේ “Vision 2030” යටතේ ධීවර කළමනාකරණය, ජලජීවී වගාව, සමුද්‍ර පර්යේෂණ හා සම්පත් සංවර්ධනයේ දක්නට ලැබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සිය ප්‍රසාදය පළකර සිටි අතර, ශ්‍රී ලංකාවද එයටම අනන්‍ය වූ පොහොසත් සමුද්‍ර ජෛව විවිධත්වය හා ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් සමුද්‍රීය ආර්ථික සංවර්ධනය ළඟාකර ගැනීමෙහිලා කැපවී සිටින බව ප්‍රකාශ කරන ලදී.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා වූ විශේෂ කරුණු අතර ජලජීවී වගා සංවර්ධනය, නවීන තාක්ෂණ හුවමාරුව, ධීවර ජෛව ආරක්ෂාව, ඉස්සන් වගා තාක්ෂණය සහ ආහාර නිෂ්පාදන තාක්ෂණික සහාය ආදිය ප්‍රධාන විය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා අංශ සඳහා සෞදි ආයෝජකයින් හට විවෘතව ඇති නව අවස්ථා පිළිබඳව හා රජයේ ආයෝජන දිරිගැන්වීම් පිළිබඳව අමාත්‍යවරයා විස්තර කරන ලදී. මීට අමතරව තාක්ෂණ හා අධ්‍යාපන හුවමාරුව, සමුද්‍ර පර්යේෂණ සහයෝගීතාව සහ තරුණ වෘත්තිකයන් සඳහා පුහුණු අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.

මෙම හමුවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශ ලේකම් අචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ සෞදි තානාපති කාර්යාලයේ නියෝජිතයින් ද සහභාගී විය.

මෙවැනි ද්විපාර්ශ්වික සහයෝගීතාවයන් මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආර්ථික සංවර්ධනයට සහ තිරසාර සමුද්‍ර සම්පත් කළමනාකරණයට විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි තම විශ්වාසය බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කරන ලදී.

WhatsApp Image 2025 11 03 at 14.54.20

WhatsApp Image 2025 11 03 at 14.54.17

WhatsApp Image 2025 11 03 at 14.54.18

 

 

 

Youtube