ලංකාවට විදේශ විනිමය උපයන මාර්ග අතුරෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සහ ජලජ පැළෑටි කර්මාන්තය ප්‍රමුඛව සැලකෙන අතර මෙම කර්මාන්තයට නැඹුරුවන වගාකරුවන් වැඩි කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කරමින් පවති.
කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණික හා යටිතල පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023/4/30 දින කැළණි මිටියාවත ප්‍රදේශයේ හෝමාගම සහ පාදුක්ක ප්‍රදේශයන්හි නිරීක්ෂණ සංචාරයක විය.
මෙහිදී විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ වර්තමානය වන විට ලබා දෙන මත්ස්‍ය ආහාර මිල අදිකවිමත් පොකුණු සඳහා භාවිතා කරන උපාංග වල මිල ඉහළ යාම මත මෙම කර්මාන්තය කරගෙන යාමේදී දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත්ය. එබැවින් ඒ සඳහා රජය මැදිහත්ව යම් සහනයක් ලබා දෙන්නේ නම්, රට තුළට ගෙන එන විදේශ විනිමය තවත් වැඩි කළ හැකි අතරම, ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ රැකියා ප්‍රශ්නයට ද යම් සාධනීය විසඳුමක් ලබා දිය හැකි බව ද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව තුළ පවතින ගැටලු එතුමන් හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම වගා පොලවල් නිරීක්ෂණය කිරීමට තමන් කටයුතු කළ බවත්, රටට විදේශ විනිමය බොහෝ ප්‍රමාණයක් ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා අමාත්‍යාංශය මෙන්ම ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරන්න කරන බවද පැවසීය.
තවද මත්ස්‍ය ආහාර සහ පොකුණු සඳහා භාවිතා කරන මෙවලම් වල මිල පහත හෙළීම සඳහා අග්‍රාමාත්‍යතුමන් සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්තුමන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ.