en banner

WhatsApp Image 2026 05 07 at 12.47.34 1ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දින 32ක් පුරා සිදුකළ සුවිශේෂී සාගර විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම නිමා කරමින් ‘Dr ෆ්‍රිට්ජොෆ් නැන්සන්' (Dr.Fridtjof Nansen) පර්යේෂණ නෞකාව යළි දිවයිනට පැමිණීම නිමිත්තෙන් වූ නිල පිළිගැනීමේ උත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (05) කොළඹ වරාය මගී පර්යන්තයේදී පැවැත්විණි.

නෝර්වේ රජයේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) ඒකාබද්ධව මෙම මෙහෙයුම සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ මත්ස්‍ය සම්පත් තක්සේරු කිරීම, සාගර පරිසර පද්ධති නිරීක්ෂණය සහ දේශගුණික විපර්යාසයන්හි බලපෑම අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය: "සාගරය යනු ශ්‍රී ලාංකික ජීවිතයේ පැවැත්මයි. එහෙත් සාගර පතුලේ සැඟවුණු රහස් මෙතෙක් අපට අභිරහසක්ව පැවතුණා. මෙම පර්යේෂණ කණ්ඩායම පසුගිය දින 32 පුරා සිදුකළ කැපවීම හරහා අපට අනාගතය සඳහා විද්‍යාත්මක 'සිතියමක්' නිර්මාණය කර දී තිබෙනවා. පවතින පාරිසරික අවිනිශ්චිතතාව හමුවේ, ඔබ ලබාදුන් මෙම දත්ත ධීවර ප්‍රජාව සහ සාගර පරිසරය සුරැකීම වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට අපට ඇති ප්‍රබලම මෙවලම වනු ඇති."

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ශ්‍රී ලංකා සහ මාලදිවයින් නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් (Vimlendra Sharan) මහතා පෙන්වා දුන්නේ ලොව පුරා මත්ස්‍ය සම්පතෙන් 90%ක්ම දැනටමත් අධිපරිභෝජනය නිසා ක්ෂය වෙමින් පවතින බවයි. එබැවින් හුදු අනුමාන මත නොව විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව ධීවර කළමනාකරණය සිදුකිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික පිරිවැයක් දැරූ මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකික විද්‍යාඥයින් 16 දෙනෙකුට (විශේෂයෙන්ම තරුණ විද්‍යාඥවරියන්ට) ඉහළ ජාත්‍යන්තර පුහුණුවක් ලබාදීමට හැකිවීම මෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් බව හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි, නෝර්වේ මුහුදු පර්යේෂණ ආයතනයේ ආචාර්ය නිකොලවුස් නිකොලවුඩාකිස් (Dr. Nikolaos Nikolioudakis) ඇතුළු දෙස් විදෙස් නිලධාරීන් සහ විද්‍යාඥයින් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 05 07 at 12.47.26

WhatsApp Image 2026 05 07 at 12.47.28

WhatsApp Image 2026 05 07 at 12.47.33

WhatsApp Image 2026 05 07 at 12.47.34

WhatsApp Image 2026 05 07 at 12.47.36

WhatsApp Image 2026 05 07 at 12.47.39

නවතම පුවත්

Youtube