en banner

WhatsApp Image 2026 05 07 at 21.11.36ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය කළමනාකරණය කරන ආකාරය සහ නීති විරෝධී ධීවර කටයුතු (IUU Fishing) මර්දනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ නාවික කටයුතු සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය අප්‍රේල් මස 27 වනදා සිට 30 වනදා දක්වා මෙරට විශේෂ විගණනයක නිරත විය.

මෙම විගණනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, මෙරට ධීවර කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට රජය උපරිම දායකත්වය ලබා දෙන බවයි. එහි වැදගත් පියවරක් ලෙස, නව ධීවර පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

විගණනයේ අවසන් දින රැස්වීමට සහභාගී වූ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා රජය සතු කැපවීම මෙම නියෝජිත පිරිස වෙත පැහැදිලි කළ බවයි. විගණන කණ්ඩායම විසින් ලබාදුන් සෑම නිරීක්ෂණයක් සහ නිර්දේශයක් පිළිබඳවම රජයේ දැඩි අවධානය යොමු කර ඇති බවත්, ඒ හරහා මෙරට ධීවර කර්මාන්තය වඩාත් නිවැරදි හා විධිමත් මාවතකට යොමු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම විගණන කාලසීමාව තුළ නියෝජිත පිරිස විසින් යාත්‍රා නිරීක්ෂණ ඒකකය (VMS), මත්ස්‍ය අපනයනය කිරීමේ ක්‍රමවේද සහ තත්ත්ව පාලන අංශවල ක්‍රියාකාරීත්වය මෙන්ම දික්ඕවිට සහ වෙල්ලමංකර ධීවර වරායන්හි මෙහෙයුම් කටයුතු ද පරීක්ෂාවට ලක් කරන ලදී. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී අනුගමනය කරන නීතිමය රාමුව සහ දත්ත වාර්තා කිරීමේ ක්‍රමවේදයන්හි පවතින කාර්යක්ෂමතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු විය.

ශ්‍රී ලංකාවේ සමස්ත ටූනා (Tuna) මත්ස්‍ය අපනයනයෙන් 40%ක් පමණ මිලදී ගනු ලබන්නේ යුරෝපා සංගමයට අයත් රටවල් විසින් වන අතර, මත්ස්‍ය අපනයන ආදායමෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේද එම වෙළෙඳපොළෙනි. එබැවින් මෙම විගණනයන් සහ එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙරට ධීවර ආර්ථිකයේ ස්ථාවරභාවය උදෙසා අතිශය වැදගත් වේ.

WhatsApp Image 2026 05 07 at 21.10.46

 

නවතම පුවත්

Youtube