2025 නොවැම්බර් මස බලපෑ ‘Ditwa’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රුපියල් මිලියන 865.79 ක දැවැන්ත සහන වැඩපිළිවෙළ යටතේ, හලාවත දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා සහන පිරිනැමීමේ විශේෂ වැඩසටහන අද (2026 මාර්තු 23) හලාවත ධීවර වරායේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් සීනෝර් (Cey-Nor) ආයතනය නිෂ්පාදනය කළ නව යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කළ අතර, අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීවරයින් වෙත පිරිනැමීමද අමාත්‍යවරයා අතින් සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ ‘Ditwa’ කුණාටුවෙන් සිදු වූ බරපළ විනාශයෙන් රට යථා තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක, වර්තමාන ගෝලීය අර්බුදය ලෝක යුද්ධයකට සමාන බලපෑමක් රටට එල්ල කර ඇති බවයි. "මේ සියලු අභියෝග මධ්‍යයේ වුවත්, අපි ජනතාව තනි කරන්නේ නැහැ. ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා රජය විවේචනය කළත්, අපි පැරණි දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. ඇමතිවරුන් ලෙස භුක්ති විඳ අධික වාහන වරප්‍රසාද, දීමනා සහ වැටුප් අපි මුළුමනින්ම කප්පාදු කරගනිමින් ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ හරහා ඉතිරි කරගන්නා මුදල් ජනතාවගේ සුභසාධනය සඳහා යොදවනවා. ‘Ditwa’ කුණාටුවෙන් සහ ගෝලීය අර්බුදවලින් සිදු වූ විනාශය හමුවේ වුවත්, අපි ජනතාව තනි කරන්නේ නැහැ," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සහන වැඩපිළිවෙළ යටතේ පීඩාවට පත් ඉස්සන් වගාකරුවන් සඳහා 3% ක අවම පොලියක් යටතේ රුපියල් මිලියන 25 ක් දක්වා ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය මගින් වෙන් කළ රුපියල් මිලියන 865 ක ප්‍රතිපාදන මගින් සීනෝර් සහ නෝර්ත් සී වැනි රජයේ ආයතන හරහා මෙම යාත්‍රා සහ ආම්පන්න ඉතා විනිවිදභාවයකින් යුතුව ලබාදෙන බවයි.












