මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ, සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානියට පත් වූ ධීවර ඔරු, සී-නෝර් (Cey-Nor) පදනම මගින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර යළි ධීවරයින් වෙත භාරදීම සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) දායකත්වයෙන් නව ඔරු සහ දැල් ආම්පන්න බෙදා දීමයි. මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම අවස්ථාවේදී ධීවර සමිති 16ක් සඳහා රුපියල් මිලියන 26.9ක් වටිනා ආධාර බෙදා දෙන ලදී.
මෙහිදී නව ඔරු 72ක් සහ දැල් කට්ටල 1,318ක් ධීවරයින් වෙත ලබා දුන් අතර, ධීවර දෙපාර්තමේන්තුව, සී-නෝර් පදනම හරහා නව බෝට්ටු 02ක් ලබාදීම සහ අර්ධ වශයෙන් හානි වූ බෝට්ටු 14ක් අලුත්වැඩියා කර යළි භාරදීම ද සිදු විය.
මෙම ප්‍රධාන වැඩසටහනට අමතරව, අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තයට අදාළ තවත් ස්ථාන කිහිපයකම නිරීක්ෂණ චාරිකාවල නිරත වෙමින් ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳව ඍජුවම සොයා බැලීය.
මෙම අවස්ථාව අමතමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ජාතික ජන බලවේග රජයේ ජනතා කේන්ද්‍රීය දේශපාලන දැක්ම අවධාරණය කළේය. "අපි බලයට ආවේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්නයි. අපේ ජනාධිපතිතුමා දිවා රෑ නොබලා ජනතාව වෙනුවෙන් කැපවී සිටිනවා. මෙම ආපදා අවස්ථාවේදී පක්ෂ, පාට, ජාති හෝ ආගම් භේදයකින් තොරව සියලුම ජනතාවට සහන සැලසීම අපේ රජයේ වගකීමයි. මෙතෙක් කාලයක් රට පාලනය කළේ ඉහළ පැලැන්තියේ පවුල් කිහිපයක් පමණයි. නමුත් අද, කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර, ජනතාවගේ දුක වේදනාව හොඳින් හඳුනන නායකයෙක් රටේ ජනාධිපති වී සිටිනවා," යැයි අමාත්‍යවරයා පැවසීය. ධීවර කර්මාන්තය නව තාක්ෂණය සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්තයක් බවට පත් කළ යුතු බවද එතුමා පෙන්වා දුන්නේය.
මෙම සංචාරයට සමගාමීව, අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, රජයේ ප්‍රතිපත්ති ඵලදායීව ජනතාව වෙත ගෙන යාමට නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, දිස්ත්‍රික් ලේකම් ජේ.එස්. අරුල්රාජ්, සී-නෝර් පදනමේ සභාපති අජිත එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ධීවර සමිති නියෝජිතයෝ සහභාගී වූහ. මෙහිදී නව ඔරු 72ක් සහ දැල් කට්ටල 1,318ක් ධීවරයින් වෙත ලබා දුන් අතර, ධීවර දෙපාර්තමේන්තුව, සී-නෝර් පදනම හරහා නව බෝට්ටු 02ක් ලබාදීම සහ අර්ධ වශයෙන් හානි වූ බෝට්ටු 14ක් අලුත්වැඩියා කර යළි භාරදීම ද සිදු විය.












