en banner

South Program1'රටම එකට' ජාතික මෙහෙයුමට සමගාමීව, මාර්තු 01 වන දිනෙන් ඇරඹුණු "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය" යටතේ, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ධීවර යාත්‍රා යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින්, ධීවර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

එහි පළමු අදියර යටතේ, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, මාර්තු 04 වන දින හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලදීත්, 05 වන දින ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලදීත් මෙම වැඩසටහන් පැවැත්විණි. මෙම වැඩසටහන් සඳහා ඉහළ පෙළේ නියෝජනයක් සහතික කරමින්, අදාළ දිස්ත්‍රික්ක භාර නාවික සහ වෙරළාරක්ෂක අණදෙන නිලධාරීන් ද ඊට එක්ව සිටියහ:

* හම්බන්තොට: කොමාණ්ඩර් (ජලතරණ) එස්.ඩී. වීරසිංහ, කොමාණ්ඩර් (ජලතරණ) එම්.එන්. හෙට්ටිගේ
* මාතර: කොමාණ්ඩර් (සංඥා) ඊ.ඩී.එස්. දිසානායක
* ගාල්ල: කොමාණ්ඩර් (සංඥා) ඩබ්.එම්.ටී.බී. වලිසුන්දර
* කළුතර: ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) ඩබ්.ඩබ්.එම්.ඩී.ආර්.එස්.බී. දිසානායක

රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුළු වීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස මුහුදු මාර්ගය හඳුනාගෙන ඇති බැවින්, මෙම වැඩසටහන් මාලාවේ මූලික අවධානය බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන් සහ නියමුවන් දැනුවත් කිරීම සඳහා යොමු කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම මුහුදු මෙහෙයුම් සහ යාත්‍රා පරීක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳව දැනුවත් කළ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යාත්‍රා යොදාගත් අවස්ථා පිළිබඳව අතීත විමර්ශන අත්දැකීම් බෙදා හදා ගනිමින්, සැකකටයුතු ක්‍රියාකාරකම් කල්තියා හඳුනා ගැනීමට යාත්‍රා හිමියන් සවිබල ගැන්වීය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ පැවසීය:

"මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මුහුදු මාර්ගය යොදාගැනීම අපේ රටට බරපතල තර්ජනයක්. මේ සඳහා සම්බන්ධ වන සුළු පිරිසක් නිසා සමස්ත ධීවර කර්මාන්තයේ කීර්තිනාමයට හානි වෙනවා. අපේ ප්‍රධාන අරමුණ, යාත්‍රා හිමියන් සහ නියමුවන් දැනුවත් කර, තම කාර්ය මණ්ඩලයේ සැකකටයුතු හැසිරීම් කල්තියා හඳුනා ගැනීමට ඔවුන්ව සවිබල ගැන්වීමයි. මෙමගින් මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය බේරා ගැනීමට මෙන්ම, අහිංසක ධීවර කාර්මිකයින් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු නොවී මුදවා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. ‘මතින් තොර රටක්’ ගොඩනැගීමේ ජාතික ප්‍රතිපත්තියට ධීවර අමාත්‍යාංශය ලබා දෙන පූර්ණ දායකත්වය මෙයයි."

මෙම වැඩසටහන් සඳහා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගෙන් ලැබුණු උද්යෝගිමත් සහභාගීත්වය සහ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම මෙහිදී විශේෂ ප්‍රශංසාවට ලක් වූ අතර, රජය විසින් ක්‍රියාත්මක කරන මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔවුහු මෙහිදී ඒකමතිකව එකඟතාවය පළ කළහ.

දකුණු වෙරළ තීරයේ ප්‍රධාන ධීවර දිස්ත්‍රික්ක හතරක් ආවරණය කරමින් පැවැත්වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව අතිශයින් සාර්ථක වූ අතර, ධීවර කර්මාන්තය නීති විරෝධී ජාවාරම්වලින් මුදවා ගැනීම සඳහා, සමස්ත ධීවර ප්‍රජාවගේම සහයෝගය ඇතිව, අමාත්‍යාංශය සිය අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි.

South Program4

South Program3

South Program1

Youtube