ලෝකයේ මේ වන විට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ජාත්‍යන්තර මුහුදු තීරයේ මසුන් අල්ලන මෙරට ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, දැනට මුහුදු ගොස් ඇති ධීවරයින් කිසිදු හේතුවක් මත නීතිවිරෝධී ගමන් මාර්ග භාවිතා කිරීමෙන් හෝ නුහුරු කලාපවලට ඇතුළු වීමෙන් වළකින ලෙසයි. ධීවර ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඔවුන් නිරතුරුවම තමන්ගේ සුපුරුදු සහ අනුමත ගමන් මාර්ග පමණක් භාවිතා කළ යුතු බව අමාත්‍යවරයා දැඩිව ඉල්ලා සිටියේය.
මුහුදේදී යම් අනතුරුදායක තත්ත්වයක් හෝ හදිසි අවස්ථාවක් ඇති වුවහොත්, පැය 24 පුරා විවෘතව පවතින MRCC මධ්‍යස්ථානය හෝ ධීවර දෙපාර්තමේන්තුවේ පණිවිඩ හුවමාරු පද්ධතිය හා වහාම සම්බන්ධ වන ලෙසද අමාත්‍යවරයා සියලුම ධීවරයින්ගෙන් සහ බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ද සහභාගී විය.





