අත්හැර දැමූ බෝට්ටු වලින් ශක්තිමත් ගඩොල් නිපදවීමට නවීන තාක්ෂණය - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
දීර්ඝ කාලයක් තිස්සේ ධීවර වරායන්, තොටුපළවල් සහ වෙරළ තීරයන්හි ගොඩගැසී පවතින ෆයිබර්ග්ලාස් බෝට්ටු සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීම සඳහා, ධීවර අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ෆයිබර්ග්ලාස් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා අදාළ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ ගිවිසුම අද (09) දින ධීවර අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. 'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) අරමුදල මගින් රුපියල් මිලියන 56ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
"රට පුරා ධීවර වරායන්හි ටොන් 10,000කට අධික ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා. සුනාමියෙන් පසුව ඉතිරි වූ බෝට්ටු සහ දිනපතා එකතු වන ටොන් 20කට ආසන්න කසළ ප්‍රමාණය පරිසරයටත්, ධීවර කර්මාන්තයටත් බරපතල ගැටලුවක්. 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ අපි මේ ගැටලුවට තිරසාර විසඳුමක් ගෙනෙනවා. ඉදිරි මාස හය ඇතුළත බේරුවල ප්‍රදේශයේ මෙම ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ස්ථාපිත කර, මෙම අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් බවට පත් කිරීම අපේ ඉලක්කයයි."
සී-නෝර් පදනමේ සභාපති අජිත එදිරිසිංහ මහතා පැහැදිලි කළ පරිදි, පැයකට කිලෝග්‍රෑම් 500ක ධාරිතාවයකින් යුත් මෙම නවීන යන්ත්‍රය මගින් ෆයිබර්ග්ලාස් කොටස් කුඩා කැබලිවලට කපා, කුඩු කර, සිමෙන්ති සමඟ මිශ්‍ර කිරීමෙන් බ්ලොක් ගල් (Block stones), පේවින් බ්ලොක් (Paving blocks) සහ කම්බි කණු වැනි නිෂ්පාදන සිදු කෙරේ. පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ වැලි වෙනුවට 30%ක් පමණ මෙම ෆයිබර් කුඩු ආදේශ කිරීමෙන් නිපදවන ගඩොල්, සාමාන්‍ය ගඩොල්වලට වඩා බරින් අඩු සහ ශක්තියෙන් වැඩි බවයි.
මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ද එක්ව සිටියහ.





