තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම තහවුරු කරමින්, ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් විය.
ඒ අනුව, ලෝක වෙළඳ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති ආර්.ජී.එස්. විජේසේකර මහතා විසින් ඊට අදාළ පිළිගැනීමේ සාධන පත්‍රය එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
වසර ගණනාවක් සාකච්ඡාවට භාජනය වූ මෙම සම්මුතියට එකඟ වීම තුළින්, ශ්‍රී ලංකාව විසින් නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු (IUU) සඳහා දායක වන සහනාධාර මෙන්ම, අධි අස්වනු ලබන මත්ස්‍ය සම්පත් සඳහා ලබා දෙන සහනාධාර තහනම් කිරීමට පියවර ගනු ඇත.
අතිරේක ලේකම් (ධීවර සම්පත් කළමනාකරණ) ධම්මික රණතුංග මහතා පැවසුවේ, "මෙම එකඟතාව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇති බවයි. අපනයන වෙළඳපොළ තුළ තිරසාර ධීවර කර්මාන්තයක් පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවන පිළිගැනීම සහ විශ්වාසනීයත්වය ඉහළ යනු ඇත. එමඟින් අපගේ ධීවර නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් සහිත අපනයනය වෙළඳපොළ අවස්ථා විවෘත වනු ඇත. තවද, ලෝක වෙළඳ සංවිධානයේ විශේෂිත ධීවර අරමුදල හරහා අපගේ ධීවර ප්‍රජාවගේ හැකියාව ගොඩනැංවීමට සහ තාක්ෂණික සහාය ලබා ගැනීමටද අවස්ථාව උදා වේ."
ලෝකයේ රටවල් 106ක් මේ වන විට මෙම ගිවිසුම සඳහා එක් වී ඇති අතර, එය ගෝලීය වශයෙන් තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ කැපවීම ප්‍රදර්ශනය කරයි.