en banner

WhatsApp Image 2025 07 23 at 18.19.03නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) ධීවර කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් මැඩගස්කරයේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් අටදෙනෙකු මේ වන විට මැඩගස්කරයේ බන්ධනාගාරගත කර ඇති අතර, ඔවුන් නිදහස් කර ගැනීමට රජය විසින් දැඩි මැදිහත්වීමක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද දින (23) ප්‍රකාශ කළේය. අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයන් අද දින නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී ඔවුන් මුදවා දෙන ලෙස ඉල්ලීමක් කළහ.

සිද්ධිය පිළිබඳ විස්තර

IMUL-A-0899-CHW (Ruth Baba -06) දරණ මෙම බහුදින ධීවර යාත්‍රාව පසුගිය අප්‍රේල් 25 වන දින වෙල්ලමන්කර ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර, ජූනි 2 වන දින මැඩගස්කර රාජ්‍යයේ අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටියදී ANTSANTSA ධීවර මුර සංචාරක යාත්‍රාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. යාත්‍රාව මැඩගස්කරයේ EEZ වෙත ඇතුළුවීම සදහා අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව ද වාර්තා වේ.

මැඩගස්කර බලධාරීන් විසින් යාත්‍රාව පරීක්ෂා කිරීමේදී, එහි යාත්‍රා නාවික දත්ත සහ AIS (ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය) වාර්තා මකා දමා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. එබැවින් ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයට (F.M.C.) යාත්‍රාවේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමට නොහැකි වී ඇත. යාත්‍රාවට මැඩගස්කර බලධාරීන් විසින් නිකුත් කරන ලද අවසරපත්‍රය හෝ වලංගු ධීවර බලපත්‍රයක් නොතිබූ අතර, අත්අඩංගුවට ගැනීමේදී ධජය ඔසවා නොතිබීම හේතුවෙන්, මුලින් එහි ධජ රාජ්‍යය තහවුරු කර ගැනීමට අපහසු විය.

යාත්‍රාව තුළ ශීත කළ සම්පූර්ණ මෝර ඔළු කිලෝග්‍රෑම් 16,125ක්, වියළන ලද මෝර ෆිලට් කිලෝග්‍රෑම් 1,618ක්, වියළන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 23ක් සහ වියළන ලද මෝර ගිල් කිලෝග්‍රෑම් 4ක් ඇතුළුව සැලකිය යුතු මෝර අස්වැන්නක් සොයාගෙන ඇත. යාත්‍රාවෙන් සොයාගත් මෝර විශේෂ CITES සම්මුතියේ II වන උපග්‍රන්ථය යටතේ ලැයිස්තුගත කර ඇති බවට මැඩගස්කර පරිසර විමර්ශන පොලිස් නිලධාරීන් නිගමනය කර ඇත.

රජයේ මැදිහත්වීම සහ පියවර

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය මුලින් දැනුවත් වූයේ 2025 ජූනි 11 වන දින ලැබුණු WhatsApp පණිවිඩයක් මගින් වන අතර, එම පණිවිඩය එදිනම විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. කෙසේ වෙතත්, යාත්‍රාවේ හිමිකරු විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට හෝ ධීවර දෙපාර්තමේන්තුවට කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති අතර, අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයින්ගේ පවුල්වලට පවා යාත්‍රා හිමි විසින් මේ පිළිබඳව දැනුම් නොදෙන ලෙස බලපෑම් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මැඩගස්කරයේ අධිකරණය හමුවේ නඩු කටයුතු සිදුවන අතර, එහිදී ප්‍රංශ භාෂාවෙන් නඩු විභාග සිදු වේ. "මෙම තත්ත්වය තුළ අපගේ ධීවරයින් සිංහල භාෂාව කතා කරන බැවින්, සිංහල සහ ප්‍රංශ භාෂා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් ඊයේ (ජූලි 22) දින පැවැත්වීමට නියමිතව තිබූ නඩුව අගෝස්තු 4 වන දින දක්වා කල් දමා ඇතැයි" ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මේ පිළිබඳව සීෂෙල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය සමඟ සාකච්ඡා කළ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සුදුසු භාෂා පරිවර්තකයෙකු සොයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. භාෂා පරිවර්තකයෙකු ලැබුණු වහාම, නඩුව කඩිනමින් විභාගයට ගෙන ධීවරයින් නිදහස් කර නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය. ධීවර අමාත්‍යාංශය සහ ධීවර දෙපාර්තමේන්තුව මේ සඳහා සක්‍රීයව මැදිහත් වෙමින් සිටින අතර, අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල් හමුවූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරීන් ඔවුන්ගෙන් තොරතුරු විමසා ඇත.

ධීවර ප්‍රජාව වෙත උපදෙස්

නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනෙකුත් රටවල මුහුදු සීමා උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ධීවර අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙවැනි සිදුවීම් හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිරූපයක් ඇති වන අතර, අත්අඩංගුවට ගත් ධීවරයින් මුදවා ගැනීමට විශාල පරිශ්‍රමයක් සහ මුදලක් වැය කිරීමට සිදුවේ. එමෙන්ම, VMS යන්ත්‍ර අක්‍රිය කිරීම වැනි ක්‍රියා හේතුවෙන් රජයට මැදිහත්වීම දුෂ්කර වන බවද අවධාරණය කෙරේ.

එබැවින්, සියලුම ධීවර ප්‍රජාවගෙන්, විශේෂයෙන්ම යාත්‍රා හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපවලට ඇතුළු වී නීතිවිරෝධී ධීවර කටයුතුවල නොයෙදී, ජාත්‍යන්තර මුහුදේ පමණක් මසුන් අස්වනු නෙලාගෙන, නීත්‍යානුකූලව ධීවර කටයුතුවල නිරත වී නැවත දිවයිනට පැමිණෙන ලෙසයි. නීත්‍යානුකූලව කටයුතු කිරීම තුළින් මෙවැනි අපහසුතාවයන්ට ලක්වීම වලක්වා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

WhatsApp Image 2025 07 23 at 18.19.04

WhatsApp Image 2025 07 23 at 18.19.04 1

WhatsApp Image 2025 07 23 at 18.19.05

Youtube