සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමය හා ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ජූනි 30, පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු අංක 4 ශාලාවේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය ලෙස්ටර් නෝනිස් පියතුමා, භාණ්ඩාගාරික ඩබ්.ඊ. ෆොනාන්ඩෝ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එච්.වී. අප්පුහාමි, ලේකම් දිල්රුක් ෆොනාන්ඩෝ, අනුශාසක නිමල් කුරේරා ඇතුළු නියෝජිතයන් දොළොස් දෙනෙකු පමණ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතාද සහභාගී වූහ. ධීවර අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.එල්.ඩී. අසේල මහතා, ජාතික ධීවර සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්.ජී. අජන්ත කුමාර මහතා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරසිංහ මහතා එක්ව සිටියහ. ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, අධ්‍යක්ෂ (කළමනාකරණ) බුද්ධික අබේරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කළමනාකරණ) එම්.ජී.එන්. ජයකොඩි මහතා සහ මුලතිව් සහකාර අධ්‍යක්ෂ කේ. මෝහන්කුමාර මහතා ද මේ අවස්ථාවට සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ, 2025 ජූනි 25 දින මුලතිව් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුවේදී මතු වූ, මාදැල් ධීවර කර්මාන්තයේ ට්‍රැක්ටර් හෝ වින්ච් භාවිතය සම්බන්ධ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමයි.
මාදැල් හිමියන්ගේ අදහස්:
සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය ලෙස්ටර් නෝනිස් පියතුමා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ලංකාවේ මාදැල් හිමියන් 800ක් පමණ සිටින බවත්, එක් මාදැලකින් පවුල් 50ක් පමණ යැපෙන බවත්ය. සුනාමියෙන් පසු මුහුදේ ගැඹුර වැඩි වී ඇති බැවින්, අතින් දැල් ඇදීම දුෂ්කර වී ඇති බවත්, එබැවින් වින්ච් භාවිතය අත්‍යවශ්‍ය වී ඇති බවත් ඔහු පැහැදිලි කළේය. වින්ච් තහනම් කිරීම මගින් ධීවර පවුල් දැඩි අපහසුතාවයට පත්වන අතර, ණය වී මිලදී ගත් ට්‍රැක්ටර් සහ වින්ච් හේතුවෙන් ආර්ථික වශයෙන්ද පීඩාවට පත්වන බව දූත පිරිස සඳහන් කළහ. රටට අවශ්‍ය පෝෂණීය මසුන් සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය මසුන් (ඇඹුල් තියල්,.) ලබා දෙන මාදැල් කර්මාන්තය ආරක්ෂා කරන ලෙසත්, මෙම තහනම ඉවත් කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියහ.
ධීවර දෙපාර්තමේන්තුවේ ස්ථාවරය:
ධීවර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, 1984 ධීවර හා ජලජ සම්පත් පනත අනුව මාදැල් ධීවර කර්මාන්තය යාන්ත්‍රික නොවන සාම්ප්‍රදායික ක්‍රමයක් වන බවත්, මිනිසුන් විසින් දෑතින් ඇදීමෙන් සිදු විය යුතු බවත්ය. දිස්ත්‍රික්ක කිහිපයක ට්‍රැක්ටර් භාවිත කරන අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ට්‍රැක්ටර් භාවිතය සිදු වන බවත්, නාවික සැතපුම් 1.5ක සීමාව තුළ මාදැල් ඇදීම සිදු විය යුතු බවත් ඔවුහු පැහැදිලි කළහ. සම්පත් සංරක්ෂණය සඳහා පවතින නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය අදහස්:
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා ප්‍රකාශ කළේ, අනාගත පරම්පරාව සඳහා මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බවයි. අතීතයේ සිදු වූ වැරදි ක්‍රියාමාර්ග නැවත සිදු නොකර, තිරසාර හා නවීන ධීවර කර්මාන්තයක් කරා රට ගෙනයාම රජයේ අරමුණ බව එතුමා සඳහන් කළේය. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට රජය කැපවී සිටින අතර, මේ ගැටලුව සියලු පාර්ශවයන්ගෙන් විමසා බලා විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ, ලෝකයේ වඩාත් දූෂිත මහා මුහුදු අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ සිටින බවත්, මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් මගින් සාගර පරිසරය විශාල ලෙස දූෂණය වී ඇති බවත්ය. ඩයිනමයිට්, තහනම් පන්න ක්‍රම සහ ආලෝක ආකර්ෂණ ධීවර ක්‍රම මගින් මත්ස්‍ය සම්පතට සහ මිනිස් සෞඛ්‍යයට සිදුවන හානිය අවධාරණය කළ එතුමා, ධීවර සම්පත ආරක්ෂා කර ගැනීම සහ අනාගතය සඳහා සංරක්ෂණය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බව කියා සිටියේය. වින්ච් භාවිතය නිසා වෙරළ තීරයේ මුහුදු පැළෑටි විනාශ වන බවත්, රටක් ලෙස සමස්තයක් ලෙස සිතා නිවැරදි තීරණ ගත යුතු බවත් ඔහු පැවසීය. කෙටිකාලීන වාසිවලට වඩා දීර්ඝකාලීන ප්‍රතිලාභ සලකා බලා, ධීවරයාගේ ජීවනෝපාය, රටේ ආර්ථිකය, පෝෂණය සහ සෞඛ්‍ය මට්ටම යන සියලු සාධක සමතුලිත කරමින් තීරණ ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.