ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජුනි 25) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමාගේ සංවිධානයෙන් සහ ආරාධනයෙන් පැවති මෙම රැස්වීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයක් දක්නට ලැබිණි. ධීවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලුම ආයතන මෙන්ම, ධීවර කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් දෙපාර්තමේන්තු සහ ආයතනවල පුළුල් සහභාගීත්වයක් මෙම රැස්වීම සඳහා ලැබී තිබුණි.
මෙහිදී ධීවර සංවිධාන නියෝජිතයින් විසින් විශේෂයෙන්ම ඉන්දීය ධීවර යාත්‍රා මගින් සිදු කරන හානි පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලදී. ඊට අමතරව, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත වීම, තහනම් දැල් (සුරුක්කු දැල්) සහ තහනම් පන්න ක්‍රම භාවිතය, ඩයිනමයිට් වැනි විනාශකාරී ක්‍රම සහ Light coarse ධීවර ක්‍රම භාවිතය පිළිබඳවද අදහස් හුවමාරු විය. Light coarse ධීවර ක්‍රම මගින් කුඩා මත්ස්‍ය පැටවුන් පවා විනාශ වන බැවින්, අනාගත සම්පත්වලට හානි සිදුවන බව පෙන්වා දෙන ලදී.
තවද, සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තයේදී ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් වෙරළට සිදුවන හානි සහ වැලි කැණීම් වැනි විශාල පාරිසරික ගැටලු රැසක්ද මෙහිදී අනාවරණය විය.
මෙම ගැටලුවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමා අවධාරණය කළේ, මෙතෙක් කල් සිදුවූ සියලු නීතිවිරෝධී ධීවර කටයුතු වහාම සම්පූර්ණයෙන් නැවැත්වීමට කටයුතු කරන බවයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, පොලීසිය සහ නාවික හමුදාව සම්බන්ධ කරගෙන මෙම නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට පියවර ගන්නා බවද එතුමා පැවසීය. විශේෂයෙන්ම, ඉන්දීය යාත්‍රා මගින් සිදුවන නීතිවිරෝධී ධීවර කටයුතු පාලනය කිරීමට නාවික හමුදාව දරන ප්‍රයත්නයන් තවදුරටත් වැඩි කරන ලෙස කාරුණික ඉල්ලීමක්ද කරන ලදී.
මුලතිව් ධීවර කර්මාන්තයේ සංවර්ධන වැඩසටහන්
ගත වූ වසර තුළ මුලතිව් ප්‍රදේශයේ ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා නන්දිකඩාල් කලපුව සහ නයාරු කලපුව පිරිසිදු කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කර ඇත. ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ ඉදිරිපත් කිරීමේදී, තවදුරටත් කලපු පිරිසිදු කිරීම සහ විද්‍යාත්මකව ගැඹුරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය විය.
මීට අමතරව, ධීවරයින් මුහුණ දෙන ගැටලු වන ප්‍රදීපාගාර (Lighthouse) නොමැතිකම, මාදැල් ක්‍රම සඳහා ඉඩම් සහ ඔප්පු නිකුත් කිරීමේ අවශ්‍යතාව, සහ ධීවර යාත්‍රා සඳහා ඉන්ධන පිරවුම්හලක අවශ්‍යතාවද සාකච්ඡා විය. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන පිරවුම්හලක් සඳහා ඛනිජ තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. 2025 ප්‍රතිපාදන වලින් ප්‍රධාන මාර්ග කිහිපයක් සංවර්ධනය කර ඇති අතර, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමා ප්‍රකාශ කළේ, 2026 අයවැයෙන් කලපු සංවර්ධනය සඳහා ඉදිරියේදී මුදල් ප්‍රතිපාදන සැපයිය යුතු බවත්, කලපු මායිම් සලකුණු කර, ප්‍රජා මූලික සහභාගීත්ව කමිටු පිහිටුවා, විද්‍යාත්මකව මත්ස්‍ය පැටවුන් මුදා හැරීම වැනි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත්ය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමගනාකරණ දෙපාර්තමේන්තුව (CCD) වැනි ආයතනද මෙම රැස්වීමට සහභාගී වූ අතර, කැලි කසළ නිසි ලෙස බැහැර කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
නියෝජ්‍ය අමාත්‍යතුමා විශේෂයෙන්ම සඳහන් කළේ, ධීවර කාර්මිකයන්ට සහ ධීවර කර්මාන්තයේ නියැලෙන කාන්තාවන්ට, නව ආදායම් මාර්ග සොයා ගැනීමට සහ ව්‍යාපාර දියුණු කර ගැනීමට, රුපියල් ලක්ෂ පහක් දක්වා ණය පහසුකම් සලසන යෝජිත ණය යෝජනා ක්‍රමයක් පිළිබඳවද එතුමා මෙහිදී පැහැදිලි කළ අතර, ඒ සඳහා යොමු වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන ලදී.
මෙම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුව ඉදිරියේදී මාස තුනකට වරක් නිතිපතා රැස්වීමට අපේක්ෂා කෙරේ. එහිදී, ධීවර ජනතාවට තම පොදු ගැටලු අදාළ නිලධාරීන් (සහකාර අධ්‍යක්ෂක, සැලසුම් නිලධාරී) වෙත යොමු කර, විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යාංශය පැවසීය.
මෙම හමුවට මුලතිව් මහා දිසාපතිතුමා, මුලතිව් අතිරේක දිසාපතිතුමන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා පොලීසියේ සහ යුද හා නාවික හමුදාවේ නියෝජිතයින්. ඊට අමතරව, ධීවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC), Cey-Nor ආයතනය, NorthSea ආයතනය, ධීවර දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව (CCD) යන ආයතනවල නිලධාරීන් මෙන්ම ධීවර සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියහ.