07 July 2026
විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට ‘දිට්වා’ සහන ප්‍රදානය කෙරේ : සෑම මාස තුනකටම වරක් නව මව් මසුන් ආනයනය කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් උපදෙස්
දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුඩා පරිමාණ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ට සහන සැලසීමේ විශේෂ වැඩසටහන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී (NAQDA) පැවැත්විණි.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් 28 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කෙරුණු අතර, සමස්තයක් ලෙස කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රතිලාභීන් 83 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 4.65ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. මීට අමතරව නුවරඑළිය, මාතලේ, අනුරාධපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල තවත් වගාකරුවන් 40 දෙනෙකු සඳහා සහන සැලසීමට ද නියමිතය.
මෙම උත්සවයේදී අමාත්‍යවරයා විසින් ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී. ඒ අනුව, මෙරට විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව යාවත්කාලීන කිරීම සඳහා සෑම මාස තුනකටම වරක් ලංකාවේ නොමැති නව විසිතුරු මත්ස්‍ය විශේෂවල උසස් මව් මසුන් සංචිත ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජලජීවී වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. වසර ගණනාවකින් නව මත්ස්‍ය විශේෂ හඳුන්වා දී නොමැති පසුබිමක, මෙමගින් නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සිය නිෂ්පාදන සිදු කිරීමට අවස්ථාව සැලසේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා:
“විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට ‘දිට්වා’ සුළි කුණාටුවෙන් රුපියල් මිලියන 307ක පමණ දැවැන්ත ආර්ථික හානියක් සිදුවුණා. මීට අමතරව ගෝලීය දේශපාලන අර්බුද හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නිසා අපේ නිෂ්පාදකයින් දැඩි පීඩාවට පත්වුණා. එහෙත් වත්මන් රජය ලෙස අප එම සෑම අභියෝගයක්ම කළමනාකරණය කරමින් ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම කර්මාන්තය නගා සිටුවීමට කැපවී සිටිනවා. අපේ ඉලක්කය ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධානතම විසිතුරු මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි,” යැයි පැවසීය.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ නිෂ්පාදකයින් පිරිසක් සහභාගී වූහ.
Share












