02 October 2026
තිරසර නීල ආර්ථිකයක අනාගතය වෙනුවෙන් විද්‍යාවේ දිශානතිය: '37 වැනි නාරා ජාත්‍යන්තර විද්‍යා සැසිවාරය' ඇරඹේ!
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් සංවිධානය කළ 37 වැනි ජාත්‍යන්තර විද්‍යාත්මක සැසිවාරය අද (02) දින නාරා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අභිමානවත්ව ආරම්භ විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූහ.
“Aquatic Research for Climate Resilience, Food Security, and Blue Growth” යන කාලීන තේමාව යටතේ පැවති මෙම සැසිවාරය සඳහා දේශීය හා විදේශීය විද්වතුන්, විශ්වවිද්‍යාල නියෝජිතයන් සහ ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ. ධීවර කර්මාන්තය, ජලජ වගාව, පසු අස්වනු තාක්ෂණය, ජලජ ජීව තාක්ෂණය, ජලජ පරිසරය සහ දේශගුණික විපර්යාස, සාගර විද්‍යාව මෙන්ම ධීවර සමාජ–ආර්ථික විද්‍යාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට අදාළ නවතම පර්යේෂණ පත්‍රිකා සහ සොයාගැනීම් මෙහිදී ඉදිරිපත් කෙරේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සභාව ඇමතූ ධීවර අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා පෙන්වා දුන්නේ, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේදී ධීවර කර්මාන්තය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත්, ගෝලීය දේශගුණික අභියෝග හමුවේ වුවද ධීවර ප්‍රජාව නඟා සිටුවමින් ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ‘නීල ආර්ථිකයක්’ ගොඩනැගීමට රජය පූර්ණ දායකත්වය ලබා දෙන බවත්ය. තවද, නාරා ආයතනය විසින් සිදුකරන මෙවැනි පර්යේෂණ ඔස්සේ ලබාදෙන විද්‍යාත්මක මඟපෙන්වීම් සහ දත්ත, අනාගත ජාතික ධීවර ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අතිශයින් වැදගත් වන බව එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.එමෙන්ම මෙම විද්‍යාත්මක පර්යේෂණ සාමාන්‍ය ධීවර ජනතාවටත් පරිශීලනය කිරීමට අවස්ථා සලසා දීම තුළින් ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සමුළුව අමතමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ.කෝලිත කමල් ජිනදාස මහතා අවධාරණය කළේ, ධීවර ක්ෂේත්රයේ තීරණ ගැනීම් හුදු සම්ප්‍රදායන් මත නොව, අඛණ්ඩ සහ විශ්වසනීය ‘දත්ත’ මත පදනම් වූ විද්‍යාත්මක සාක්ෂි මතම සිදුවිය යුතු බවයි. එසේම අපගේ ජලජ සම්පත හුදෙක් ආහාර වේලට පමණක් සීමා නොකර, ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආදී නවෝත්පාදන බිහිකරන ‘ජලජ ජෛව ආර්ථිකයක්’ (Aquatic Bioeconomy) කරා අප පියනැගිය යුතු බවත්, පර්යේෂණ හුදෙක් පත්‍රිකාවලට පමණක් සීමා නොකර ඒවා ප්‍රායෝගික හා වාණිජකරණය (Research → Prototype → Pilot → Commercialization) දක්වා රැගෙන යා යුතු බවත් එතුමා පෙන්වා දුන්නේය.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ජපානයේ විදේශ ධීවර සහයෝගිතා පදනමේ (OFCF) ධීවර විශේෂඥ ආචාර්ය ෆුජිනෝ තදානෝරි මහතා විසින් පවත්වනු ලැබීය. මෙම විද්‍යාත්මක සැසිවාරයේදී, ක්ෂේත්රයට අගනා මෙහෙවරක් කළ විශිෂ්ට පර්යේෂණ ඇගයීමට ලක්කරමින් සම්මාන ප්රදානය කිරීම සහ නාරා ඡායාරූප තරඟයේ ජයග්රාහකයින්ට ත්‍යාග ප්රදානය කිරීම ද සිදුවිය.
මීට අමතරව මෙම අවස්ථාව සදහා ජාතික ජලජ සම්පත් හා පර්යේෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි, ලංකා ධීවර සංස්ථාවේ සභාපති නවුරාස් නසාර්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි, සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම, ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුනසේකර යන මහත්වරුන් සහ නාරා ආයතනය වෙත විද්‍යාත්මක පර්යේෂණ හා පුහුණු අවස්ථා සදහා පහසුකම් සපයා දුන් ආයතන හා රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද,අමාත්‍යාංශයේ නිලධාරීන් සහ දෙස් විදෙස් පර්යේෂකයින් රැසක්ද සහභාගී වූහ.
















