Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
16 October 2026
"ධීවර සේවා සවිය" - ගාල්ල දිස්ත්‍රික්කය...

“දියඹේ ගැටලුවලට ගොඩබිමින් තොටුපළක්” යන තේමාව යටතේ, මහ මුහුදේ අභියෝග ජයගන්නා ධීවර ප්‍රජාවගේ දෛනික පරිපාලන සහ සේවා ගැටලුවලට ගොඩබිමදීම කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් සංවිධානය කළ ‘ධීවර සේවා සවිය’ ජංගම සේවාවේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (16) දොඩංදූව ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කෙරිණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව මෙම ජංගම සේවා වැඩසටහන සංවිධානය කර තිබුණි.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම ජංගම සේවය හරහා ධීවර ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් රැසක් කඩිනමින් හා විධිමත්ව ලබා දීම මෙහිදී සිදු කෙරුණි. ඒ යටතේ නව යාත්‍රා ලියාපදිංචිය, ලියාපදිංචි තොරතුරු සංශෝධනය, යාත්‍රා බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම මෙන්ම ධීවරයින්ගේ පැමිණිලි හා ගැටලු භාරගෙන අදාළ අංශ වෙත යොමු කිරීම ඇතුළු සේවාවන් රැසක් එම ස්ථානයේදීම ඉටු කර දීමට පියවර ගෙන තිබුණි.

මෙහි සමාරම්භක උත්සවයේදී සභාව ආමන්ත්‍රණය කළ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පෙන්වා දුන්නේ, මෙම ජංගම සේවා වැඩසටහන ගරු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූවක් බවයි. ඒ සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ගෙන් උපරිම සහයෝගයක් හිමි වූ බවද එතුමා සිහිපත් කළේය. රජය විසින් ධීවර ජනතාව ඉලක්ක කොට ගනිමින් සුවිශේෂී වැඩසටහන් ගණනාවක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගන්දර ධීවර වරායේ සංවර්ධන කටයුතු තවත් නොබෝ දිනකින් නිමාවට පත්වන බවත්, වාලච්චේන ධීවර වරායේ සංවර්ධන කටයුතු එළැඹෙන මාසයේදී ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අනාවරණය කළේය. තවද යාපනය දිස්ත්‍රික්කයේ මයිලඩි ධීවර වරාය ඇතුළු ධීවර වරායන් රැසක් සංවර්ධනය කිරීම වෙනුවෙන් මේ වන විටත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් සමහර ඒවායෙහි සංවර්ධන කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජනතාවට මුහුණ දීමට සිදු වන ගැටලු හැකිතාක් අවම කරමින් ඉදිරියට යාම රජයේ අපේක්ෂාව වන බැවින්, සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර මෙවැනි සේවා වැඩසටහන්ද ඉදිරියේදී දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම ජංගම සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වලට අමතරව ඊට සහභාගී වූ ප්‍රධාන රාජ්‍ය ආයතන අතරට ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික හැඳුනුම්පත් කාර්යාලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යනාදී රාජ්‍ය හා පුද්ගලික ආයතන ද එක්ව සිටියහ.

ඊට අමතරව මෙහි සමාරම්භක අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්, සී නෝර් ආයතනයේ සභාපතිතුමා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, ධීවර සංස්ථාවේ සභාපතිතුමා, නාරා සහ නැක්ඩා ඇතුළු අනුබද්ධ ආයතනවල නියෝජිතයින් ද මීට එක්ව සිටියහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ධීවර ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ජංගම සේවාව සාර්ථකව සිදු විය.

 

Latest News