15 October 2026
ගාල්ල දිස්ත්රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු විසඳන "ධීවර සේවා සවිය" ජංගම සේවාව ඔක්තෝබර් 16 දා දොඩංදූවදී...
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “ධීවර සේවා සවිය” තේමාව පෙරටු කරගත් ජංගම සේවා වැඩසටහන මගින් දීර්ඝ කාලයක් පුරා පැවැති ධීවර ජනතාවගේ ගැටලු රැසකට නොපමාව විසඳුම් ලබා දීමට කටයුතු යොදා ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
මෙම ජංගම සේවයේ ආරම්භක ගාල්ල දිස්ත්රික් වැඩසටහන ඔක්තෝබර් 16 වන දින ගාල්ල, දොඩන්දූව ධීවර වරාය පරිශ්රයේදී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වී තමන්ගේ ගැටලුවලට ඍජුවම විසඳුම් ලබා ගන්නා ලෙස ගාල්ල හා ඒ අවට අනෙකුත් දිස්ත්රික්කවල ධීවර ජනතාවගෙන් අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.
මෙම ජංගම සේවාව සඳහා රාජ්ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් සම්බන්ධ වන අතර, ධීවර ජනතාවට තමන්ගේ ගැටලු සඳහා නිරවුල් විසඳුම් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙන බවද හෙතෙම පෙන්වා දෙයි. විශේෂයෙන්ම යම් හෙයකින් එම අවස්ථාවේදීම විසඳීමට නොහැකි වන ගැටලු වේ නම්, ඒ සඳහා ඉදිරියට කටයුතු කිරීමට සියලුම තොරතුරු ලේඛනගත කොට ප්රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
“ධීවර සේවා සවිය” වැඩසටහන මගින් ධීවර ජනතාවට ලබා ගත හැකි සේවාවන් පිළිබඳව අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ, ධීවර ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්රියාත්මක වන මෙම අගනා අවස්ථාව මඟ නොහැර එයින් උපරිම ප්රයෝජන ලබා ගන්නා ලෙසයි.






