21 August 2026
මෝර මත්ස්‍ය කර්මාන්තය විධිමත් කළමනාකරණයට සහ ජාත්‍යන්තර ප්රමිතීන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ මෝර මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විධිමත්ව පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවලින් ‘අතුරු අස්වැන්නක්’ (By-catch) ලෙස මෝර මසුන් අල්ලා ගැනීම සිදු කෙරෙන අතර, එම මසුන්ගේ වරල්, කරමල්, හකු සහ හම් (Shark fin, Shark gill, Shark jaws, Shark skin) මෙන්ම සජීවී විසිතුරු මෝර මත්ස්‍ය විශේෂ අපනයනය කිරීම මගින් වාර්ෂිකව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට හිමිවන බවයි.
කෙසේ වෙතත්, මෝර මසුන් ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකෙන බැවින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම කර්මාන්තය කළමනාකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. මේ වන විටත් මෙරට තුළ ඇල්ලීම තහනම් කර ඇති මෝර විශේෂ ආරක්ෂා කිරීමටත්, නීත්‍යානුකූලව අවසර ඇති මෝර විශේෂ පමණක් අපනයනය කිරීමටත් රජය දැඩිව පියවර ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදී එළඹුණු ප්‍රධාන තීරණ කිහිපයක් පහත දැක්වේ:
දත්ත පද්ධතියක් සහ සොයායාමේ හැකියාව (Traceability): බහුදින ධීවර යාත්‍රාවලට හසුවන සෑම මෝර මත්ස්යයෙකුම අල්ලාගත් ස්ථානයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා ගමන් කරන මාර්ගය නිවැරදිව හඳුනාගත හැකි වන පරිදි විධිමත් දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
අපනයන සීමාවන් පවත්වා ගැනීම: දැනට අපනයනය කරනු ලබන මත්ස්‍ය කොටස් සහ විශේෂයෙන්ම සජීවී විසිතුරු මෝර මසුන් ප්‍රමාණය මීට වඩා වැඩි නොකර, දැනට පවතින ප්‍රමාණයටම සීමා කර පවත්වා ගැනීම.
විධිමත් කළමනාකරණ සැලැස්ම: ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් අපනයනකරුවන් සහ අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෝර මත්ස්‍ය කළමනාකරණ සැලැස්මක් මෙම වසර අවසන් වීමට පෙර සකස් කර ඉදිරිපත් කිරීම.
ධීවර අමාත්‍යාංශය, ධීවර දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය එක්ව සකස් කරන මෙම නව කළමනාකරණ සැකස්ම මගින් මෙරට මෝර මත්ස්‍ය කර්මාන්තය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ ජාත්‍යන්තර නීති රීතිවලට ගරු කරන කර්මාන්තයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.
මෙම අවස්ථාවට නාරා ආයතනයේ නිලධාරීන් සහ මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.











