Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
05 October 2026
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සේවය ශක්තිමත් කිරීමට නව නිලධාරීන් 58 කට පත්වීම්...

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සේවාවන් දිවයින පුරා පුළුල් කිරීමේ අරමුණින් නව නිලධාරීන් 25 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි සහ 33 දෙනෙකු සඳහා පුහුණුලාභී පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (05) දින උදෑසන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත් විය.

​මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වූහ.

​මෙහිදී අධ්‍යක්ෂවරුන් 03ක්, ජලජීවී විද්‍යාඥයින් (Aquaculturists) 19ක්, එක් සිවිල් ඉංජිනේරුවරයෙක්, දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරීන් 02 දෙනෙකු වෙත අමාත්‍යවරයා අතින් නිල වශයෙන් ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

​මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුවට වසර දෙකක් ගතවන විට එහි ප්‍රගතිය ජනතාව බුක්ති විඳිමින් සිටින බවයි. “අද දින පත්වීම් ලබන සියලුම දෙනා ඉතාමත් විධිමත් ආකාරයට, ඔවුන්ගේ දක්ෂතා හා හැකියා මත පදනම්ව බඳවා ගනු ලැබුවා. වසර පහකට පසුව තමයි මෙවැනි පත්වීම් ලබා දීමක් සිදු කරන්නේ. ආයතනය තුළ ඇති අනෙකුත් පුරප්පාඩු පිරවීම සඳහා අප විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා,” යනුවෙන් ඒ මහතා පැවසීය.

​ආණ්ඩුවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ: “අප මේ වන විටත් ජනතාව වෙත විශාල ඉන්ධන සහනාධාරයක් ලබා දෙමින් සිටිනවා. විශේෂයෙන්ම ධීවර ජනතාවට එම සහනය අපි ලබා දෙනවා. අද වන විට ආර්ථිකය පෙරට වඩා යහපත් තත්ත්වයකට ගෙන ඒමට අපට හැකි වී ඇති නිසයි මෙවැනි සහන ලබා දීමට හැකියාව ලැබී තිබෙන්නේ. එමෙන්ම, 2030 වසර වන විට අපේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 600 දක්වා වැඩි කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”

​ධීවර කර්මාන්තයේ අනාගතය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, “නීල ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් ධීවර ක්ෂේත්‍රය තුළ නව සොයා ගැනීම් සිදු කළ යුතුයි. ඉස්සෝ වැනි දැවැන්ත ව්‍යාපාර තාක්ෂණය භාවිත කරමින් තවදුරටත් දියුණු කිරීමට අප වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ඊට සමගාමීව ඩිජිටල්කරණය සඳහා වූ වැඩපිළිවෙළක් ද අප සකස් කරමින් සිටිනවා,” යනුවෙන් ප්‍රකාශ කළේය.

​රාජ්‍ය සේවකයින්ට පහසුකම් සැලසීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අපේ ආණ්ඩුවේ පසුගිය අයවැයවලදී මෙන්ම ඉදිරි අයවැයේදීත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කරන බවයි.

​ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ද අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළේය. “මෙහි සිටින්නේ ජවයක් සහිත තරුණ පිරිසක්. ඒ නිසා මේ ආයතනය දැනට තිබෙන තැනට වඩා ඉහළ තත්ත්වයකට ඔවුන් ගෙන එනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. සති 06ක පුහුණුවකින් අනතුරුවයි අද ඔබව සේවයට බඳවා ගන්නේ. අමාත්‍යවරයා ලෙස ඔබ සියලු දෙනා වෙනුවෙන් මා පෙනී සිටිනවා. එබැවින් ඔබේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න. ඔබගේ සේවාව නිවැරදිව සහ පිළිවෙළට සිදු කරනු ඇතැයි රජයක් ලෙස අප විශ්වාස කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

​පසුගිය ආණ්ඩු අමාත්‍යාංශයේ දියුණුව වෙනුවෙන් නොව තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ ද, වත්මන් ආණ්ඩුව එම සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

ඒ අනුව ​මෙම නව නිලධාරීන් මිරිදිය සහ ජලජීවී වගා සංවර්ධනයට දායක වෙමින්, නිෂ්පාදකයින්, ධීවර ප්‍රජාවන්, ග්‍රාමීය ධීවර සංවිධාන, ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවලට සහාය වීම සඳහා දිවයින පුරා යෙදවෙනු ඇත. මෙම නව බඳවා ගැනීම් සහ ලබා දුන් වෘත්තීය පුහුණුව ඔස්සේ ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර සහ ජලජීවී වගා අංශයේ නවීන අවශ්‍යතාවලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැකි ශක්තිමත් ශ්‍රම බලකායක් මෙන්ම කාර්යක්ෂම සේවාවක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, අධ්‍යක්ෂ ජනරාල්(කෘෂිකර්ම) සීතා වයලට් මහත්මිය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජේ. එම්. අශෝකා මහත්මිය, ජාතික ජලජීවී වගා පර්යේෂණ නියෝජිතායතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.