Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
19 August 2026
ධීවර ක්ෂේත්‍රයට නව ජවයක්, නව පත්වීම් 112- වසර අවසානයේ ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි

“වරප්‍රසාද සහ සැපසම්පත්වලින් තොර, ජනතාව වෙනුවෙන් වූ දේශපාලනයක් ඉදිරියට ගෙන ගිය නිසයි ජනතාව අපට ජනවරම ලබා දුන්නේ. ඒ අනුවයි අපි දැනට කටයුතු කරමින් සිටින්නේ. ජනතා මුදල් නාස්ති වන අයුරින් අපි කිසිදු වරප්‍රසාදයක් ලබාගෙන නැහැ,” යැයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

පැවැති පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“අද පත්වීම් ලබාගත් කිසිවෙකුත් අප අමතා ඉල්ලීම් කළේ නැහැ. දේශපාලන නිර්දේශ මත බඳවා ගැනීම් සිදු කරන්නේද නැහැ. සියලුම පත්වීම් බදවාගැනීමේ පටිපාටි ක්‍රමානුකූලව අනුගමනය කර තිබෙනවා. මෙහිදී කිසිදු පක්ෂ භේදයක් පෙන්වා නැහැ; දක්ෂයින්ටම පත්වීම් ලබා දී තිබෙනවා.

අද පත්වීම් ලබන ඔබ මෙම තත්ත්වයේම සැමදා රැඳී සිටින්නේ නැහැ. අනාගතයේදී ඔබට උසස්වීම් සහ වැටුප් වර්ධක හිමිවනු ඇත.
ඩිජිටල් ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ඔබට තිබෙනවා. ඔබට අවශ්‍ය පහසුකම් අපි සපයා දෙන්නෙමු. ඒවා භාවිත කරමින්, අපගේ ධීවරයින්ට ද ඩිජිටල් සහ නූතන තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීමේ වැඩසටහන් ඔබ ඉදිරියට ගෙන යා යුතුයි.

මේ වසර අවසන් වීමට පෙර සියලුම ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි (Electric Motorcycle) ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අප අමාත්‍යාංශයේ ලේකම්වරයා බෙහෙවින් උත්සාහ කර තිබෙනවා.

එබැවින්, ඔබ ඔබේ සේවය ජනතාවට කැපවීමෙන් ලබා දිය යුතුයි.
එසේම, වරප්‍රසාද සඳහා හෝ සැපසම්පත් සඳහා හෝ අපි දේශපාලනයට ආවේ නැහැ. අපගේ කණ්ඩායමේ දේශපාලනය එයයි. මේ නිසයි ජනතාව ජාතික ජන බලවේගයට සහය පළ කරමින් බලය ලබා දුන්නේ.

අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද අපි ප්‍රතික්ෂේප කර ඇත්තෙමු. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරිය ද නාස්තියෙන් තොරව, ජනතාවගේ මුදල් ආරක්ෂිතව භාවිත කරමින් සිටිනවා. අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස අපි ලබාගත්තේ නැහැ අමතර ආරක්ෂාවක් ද ඉල්ලා සිටියේ නැහැ,” යැයි ඔහු පැවසීය.