12 August 2026
ශ්‍රී ලංකා - ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් සෙවීමට ඉන්දියාව සමඟ සාකච්ඡා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සෘජුවම කරුණු විමසා බලා ඒවාට ස්ථිර විසඳුම් ලබා දීමේ අරමුණින්, කිලිනොච්චිය දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ(11) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදී පෙර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ තීරණ සහ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කෙරිණි. අනතුරුව, දිස්ත්‍රික්කයේ ධීවර සමිති සම්මේලන මගින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්ෂා කර බලන ලද අතර, වහාම විසඳුම් ලබා දිය යුතු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රය නැංවීම සඳහා වන සංවර්ධන පියවර, ධීවර ප්‍රජාව මුහුණ දෙන ජීවනෝපාය අභියෝග සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහිදී පුළුල් අවධානයක් යොමු විය.
මෙහිදී යාපනය, මන්නාරම සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවල නීති විරෝධී ඇතුළුවීම් වැඩිවීම හේතුවෙන් තම ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ධීවර සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, තහනම් ධීවර කටයුතුවල නිරත වන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා – ඉන්දීය ධීවරයින්ගේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යාමට මේ වන විට අවස්ථාව උදා වී ඇති බවත්, ඉන්දීය පාර්ශ්වයෙන් සාකච්ඡා සඳහා ඇරයුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“සාකච්ඡා පැවැත්වීමට අපි සූදානමින් සිටිමු. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ මුල් භාගයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
තවද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට මෙන්ම, ධීවර ක්ෂේත්‍රයේ පවතින මූලික ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවටද අමාත්‍යවරයා සහතික විය.
තට්ටුවන්කොට්ටි ග්‍රාම නිලධාරී වසමේ චීන රජයේ ආධාර යටතේ ලබා දුන් පූර්ව නිෂ්පාදිත (Prefabricated) නිවාස 28 න් නිවාස 15 ක ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතිද්දී, අදාළ ඉඩම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බව පවසමින් එම කටයුතු අත්හිටුවීම පිළිබඳව ද රැස්වීමේදී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, අන්බුපුරම් සිට කෞතාරිමුනෙයි දක්වා වූ මුහුදු සීමාවේ කූඩු දැල් (Trap Net) භාවිතයෙන් ධීවර කටයුතු කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන වාර්තාව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) හරහා ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳව පරීක්ෂා කර බලා සුදුසු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අන්බුපුරම්, සෙබස්තියාර්පුරම්, නාච්චිකුඩා, නල්ලයන්, අන්නෙයි වේලංකන්නි, කිරාංචි ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි ධීවර තොටුපොළවල් ගැඹුරු කිරීමේ අවශ්‍යතාවද ධීවර නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදී. එම කරුණ කෙරෙහිද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කර ඉහළ නැංවීමටත්, ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමටත් රජය සුදුසු පියවර ගන්නා බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සිවඥානම් ශ්‍රීධරන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ප්‍රාදේශීය ලේකම්වරුන්, ධීවර දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික්කයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.











