04 August 2026
සීනෝර් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක අපනයන ජයග්‍රහණයක්: මොරිෂස් රාජ්‍යය සඳහා නිපදවූ අඩි 55ක "CAPTAIN C" යාත්‍රාව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් නිල වශයෙන් භාරදෙයි

පසුගිය කාලසීමාව පුරා වසා දැමීමට හෝ පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී තිබූ සීනෝර් (Cey-Nor) ආයතනය, වත්මන් රජය යටතේ ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශය වෙනුවෙන් නිපදවන ලද අඩි 55ක් දිගැති දැවැන්ත ධීවර යාත්‍රාව දියත් කිරීමේ සහ භාරදීමේ නිල උත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේදී පැවැත්විණි.

“CAPTAIN C” ලෙස නම් කර ඇති මෙම නවීන යාත්‍රාවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 234,000ක් වන අතර, එය මත්ස්‍ය ගබඩා ධාරිතාව කියුබික් මීටර් 29කින් සහ ලීටර් 12,500ක ඉන්ධන ධාරිතාවකින් සමන්විත වේ. මොරිෂස් හි ‘Captain C Adventure Offshore Fishing Co-operative Society’ ආයතනයේ සභාපති රමේෂ් චුට්ටූ (Mr. Ramesh Chuttoo) මහතා වෙත මෙම යාත්‍රාව නිල වශයෙන් භාර දෙන ලදී.

මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, රජය සතු ආයතන නිසි කළමනාකරණය සහ කැපවීම තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව සීනෝර් සහ ධීවර සංස්ථාව (CFC) මේ වන විටත් ඔප්පු කර ඇති බවයි.

“සීනෝර් ආයතනය අතහැර දැමූ යුගය දැන් අවසන්. අපේ දක්ෂ සේවක මණ්ඩලය සහ නව කළමනාකාරීත්වය එක්ව අද ජාත්‍යන්තර ඇණවුම් සාර්ථකව නිම කරමින් තිබෙනවා. මෑතකදී අප සිදු කළ නෝර්වේ සංචාරයෙන් පසු සීනෝර් ආයතනයට තාක්ෂණික සහය ලබා දීමට එරට එකඟ වුණා. එමෙන්ම ලබන මස මුලදී මා සිදු කරන ජපාන සංචාරයේදීත් සීනෝර් ආයතනය නවීකරණයට අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මොරිෂස් හි අයිතිකරු කළ ඉල්ලීම පරිදි, ඉදිරියේදී එරට තුළද සීනෝර් යාත්‍රාංගනයක් (Boat Yard) පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරනවා. එය අපේ අමාත්‍යාංශය සහ රට ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇති,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව උතුරු පළාතේ සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් රුපියල් මිලියන 150ක වටිනාකමින් යුතු නව යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමේ වගකීම ද සීනෝර් ආයතනය වෙත පවරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම මහතා අදහස් දක්වමින් කියා සිටියේ, 1967 වසරේ සිට අත්දැකීම් බහුල සීනෝර් ආයතනය මෙතෙක් යාත්‍රා 20,000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් මෙරට බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වී ඇති බවයි. වත්මන් රජය යටතේ ලැබී ඇති ඉහළ ජාත්‍යන්තර පිළිගැනීම උපයෝගී කරගනිමින් ඉදිරියේදී සීෂෙල්ස් සහ මැඩගස්කරය වැනි රටවලට ද යාත්‍රා අපනයනය කරමින් රටට විදේශ විනිමය උපයා දීමට ආයතනය පූර්ණ සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මොහොමඩ් නව්රාස් නසාර් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share