ධීවර ප්‍රජාවට ලබා දෙන සේවාවන්හි පවතින ප්‍රමාදයන් සහ පරිපාලනමය ගැටලු නිරාකරණය කර, සියලු ධීවර වරායන් කාර්යක්ෂම සහ ආකර්ෂණීය මධ්‍යස්ථාන බවට පත් කිරීමේ අරමුණින්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දින පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි මහතා ඇතුළු දිවයිනේ සියලුම ධීවර වරායන් නියෝජනය කරමින් කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ අවධාරණය කළේය:
"රජය බලයට පත්ව වසරක් ගත වී ඇති මොහොතක, ජනතාවට සේවා සැපයීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මෙම සියලු ප්‍රමාද දෝෂ වළක්වා, ධීවර ජනතාවට කාර්යක්ෂම, විධිමත් සහ ක්‍රමානුකූල සේවාවක් ලබා දීමේ දැඩි අවශ්‍යතාව මම අවධාරණය කරනවා." යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ධීවර ප්‍රජාවට ක්ෂණිකව දැනෙන වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. "දිගුකාලීන සැලසුම්වලට වඩා, ධීවරයාට අද අවශ්‍ය කෙටිකාලීන විසඳුම්. එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර, මාස හයක් ඇතුළත, සියලුම ධීවර වරායන් පිරිසිදු, අලංකාර සහ දැකුම්කලු ස්ථාන බවට පත් කිරීම අපේ ඉලක්කයයි. කිරින්ද වැනි වරායන්හි පවතින වැලි පිරීමේ ගැටලුවට මෙන්ම, සියලු වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට ද කඩිනම් විසඳුම් ලබා දිය යුතුයි. ගාල්ල වරායෙන් ආරම්භ කරන භාවිතයට නොගන්නා බෝට්ටු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සියලු වරායන්හි ක්‍රියාත්මක කර, ‘මගේ වරාය, ලස්සන වරායක්’ යන සංකල්පය යථාර්ථයක් කරමු," යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කර, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු නිරාකරණය කර ගනිමින්, මෙම කෙටිකාලීන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලුම නිලධාරීන්ගේ පූර්ණ කැපවීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.