en banner

WhatsApp Image 2025 10 01 at 18.45.41මොනරාගල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීමේ අරමුණින්, විශේෂ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර, මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම්, ඌව පළාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සහ ධීවර සංස්ථාවේ සභාතිවරුන් ඇතුළු පොලීසිය, වනජීවී, වාරිමාර්ග සහ පරිසර යන දෙපාර්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී, විශේෂයෙන්ම වෙහෙරගල සහ සේනානායක සමුද්‍රය වැනි ප්‍රධාන ජලාශ මෙන්ම, මධ්‍යම ප්‍රමාණයේ වැව් ආශ්‍රිතව ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. තහනම් දැල් සහ නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතය වැළැක්වීම පිළිබඳව ද අවධානය යොමු විය.

ජාතික වනෝද්‍යානවලට අයත් ජලාශවල උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා පමණක් ධීවර කටයුතුවලට අවසර දීමෙන්, ලැබෙන මත්ස්‍ය අස්වැන්න ප්‍රමාණවත් නොවන බව ධීවර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්හ. රාත්‍රී කාලයේ දැල් එලා පසුදින උදෑසන ඒවා ඉවත් කර ගැනීමට අවසර ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම කාලසීමාව දීර්ඝ කිරීම සඳහා පවතින නීතිමය රාමුව වෙනස් කළ යුතු බවත්, ඒ සඳහා පරිසර අමාත්‍යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ යුතු බවත් , ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කළේය. එමෙන්ම, ධීවර තොටුපළවල් සහ ප්‍රවේශ මාර්ග සංවර්ධනය වැනි යටිතල පහසුකම් ගැටලු විසදීම සඳහා පළාත් අමාත්‍යාංශ ප්‍රතිපාදන ලබා දීමට ඌව පළාත් ලේකම්වරිය එකඟතාව පළ කළාය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික ධීවර සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්.ජී. අජන්ත කුමාර මහතා, ධීවර ප්‍රජාව ආධාර ලබන්නන්ගේ මානසිකත්වයෙන් මුදවා, තිරසාර ධීවර ව්‍යවසායකයින් බවට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශක්තිමත් ධීවර සමිති හරහා අතරමැදියන්ගෙන් මිදී, අගය එකතු කළ නිෂ්පාදන ලෙස තම අස්වැන්න වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඔවුන් සවිබල ගැන්විය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාකච්ඡාවෙන් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා වෙහෙරගල ජලාශය වෙත ගොස් ධීවර ප්‍රජාව හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය. ධීවර දැල් එලීමේ කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වනජීවී සහ පරිසර බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට ඒ මහතා එහිදී සහතික විය.

WhatsApp Image 2025 10 01 at 18.45.37

WhatsApp Image 2025 10 01 at 18.45.43

WhatsApp Image 2025 10 01 at 18.45.44 1

WhatsApp Image 2025 10 01 at 18.45.38

சமீபத்திய செய்திகள்

Youtube