en banner

DSC 0338 2

තහනම් පන්න ක්‍රමයක් වන ඩයිනමයිට් හා වෙඩිබෙහෙත් යොදාගනිමින් සිදුකරන මසුන් මැරීම නැවැත්වීම සදහා අවශ්‍ය සියළු පියවර කඩිනමින් ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2023.08.10 වන දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කලේය.

ජෙල් වෝටර් (ඩයිනමයිටි) පාවිච්චි කරමින් මසුන් මැරීම නිසා ධීවර සම්පත් විශාල ලෙස විනාශ වන බවත් මෙය නැවත්වීම සදහා ගත යුතු පියවර හැකි කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව මේ සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම සාකච්ඡාව පවත්වන බවද පැවසූ අමාත්‍යවරයා මේ පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කර කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම ඩයිනමයිට් යොදාගැනීම නිසා ත්‍රිකුණාමලය, කල්පිටිය, මන්නාරම සහ දකුණු පළාතේද ධීවර සම්පත විනාශ වී ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබදව ආරක්ෂක අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම්වරුන්ද දැනුවත් කොට ආරක්ෂක අංශ මගින් ගත යුතු සියළු පියවර ගන්නා ලෙසද උපදෙස් දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙම ඩයිනමයිට් පාවිච්චි කරන ලද පුද්ගලයන්ට ඒවා සපයන සැපයුම් මාර්ග නැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදව තමන් දැනුවත් කරන ලෙසද මේ පිළිබද අවශ්‍ය සියලු වැටලීම් සිදුකරන ලෙස නාවික හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද පැවසීය. මේ සදහා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට ධීවර පනතින් හා ගිනි අවි හා පීඩාකාරී පුපුරණ ද්‍රව්‍ය වැලැක්වීමේ ආඥාපනත යටතේ අවශ්‍ය නිතිමය පියවර ගැනීමට හැකි බවත් එසේ එම නීති ප්‍රමාණවත් නොවේ නම් ඒ සදහා නව නීති සකස් කල හැකි බවද ප්‍රකාශ කරන ලදි.

ඩයිනමයිට් යොදා ගැනීම නිසා විනාශවන මත්ස්‍යයන් හදුනාගැනීම සදහා නාරා ආයතනයේ නිලධාරීන් පමණක් ප්‍රමාණවත් නොවේ නම් ඒ සදහා වැටලීම් කරන ධීවර දෙපාර්තමේන්තුවේ අදාල ප්‍රදේශවල නිලධාරීන් දැනුවත් කොට එම මසුන් හදුනාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද එම හදුනාගැනීම් සදහා නිත්‍යානුකූලව ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ධම්මික රණතුංග, පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසර භාර අධ්‍යක්ෂකවරයා හා නාවික හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ උසස් නිළධාරීන් සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

Youtube