නීති විරෝධී ක්‍රියාකාරකම්වලට රජය කිසිවිටෙකත් සහාය නොදක්වයි – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
ජපාන රජයේ මූල්‍ය ආධාර යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරණපාල ග්‍රාමීය ධීවර සංවිධානය සඳහා ස්ථාපිත කළ පිරිසිදු ජල අයිස් නිෂ්පාදන මධ්‍යස්ථානය අද විවෘත කර නිල වශයෙන් ධීවර ජනතාව වෙත භාරදෙන ලදී.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් පාලන නියෝජිතයන්, ධීවර සංවිධාන නියෝජිතයන් සහ විශාල සංඛ්‍යාවක් වූ ධීවර ජනතාව සහභාගි වූහ.
මෙම අයිස් නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ධීවරයන්ට තම මත්ස්‍ය අස්වැන්න ගුණාත්මකව සංරක්ෂණය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ පහසුකම් වැඩිදියුණු වන අතර, ඔවුන්ගේ ආර්ථික කටයුතුද තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය දැඩි ප්‍රතිපත්තියක සිටින බවයි.
“අතීතයේ ඇතැම් දේශපාලනඥයන් නීති විරෝධී ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වූ අවස්ථා තිබුණා. එහෙත් ජාතික ජන බලවේග රජය කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සහාය හෝ අනුබල ලබා නොදෙනවා. නීතියේ ආධිපත්‍ය සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක විය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.
සමාජය තුළ පැතිර ගොස් තිබූ මත්ද්‍රව්‍ය සංස්කෘතිය පාලනය කිරීම සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම උතුරු හා නැගෙනහිර ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව රජය හොඳින් දැනුවත් බවත්, ඒවා ක්‍රමානුකූලව විසඳීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ කර්මාන්තය නවීකරණය කිරීමත් අපගේ රජයේ ප්‍රධාන අරමුණු අතර වනවා. දිගුකාලීනව පවතින සියලු ගැටලු එකවර විසඳීමට නොහැකි වුවත්, ඒවා එකින් එක හඳුනාගෙන ක්‍රමානුකූලව විසඳීමට රජය කැපවී සිටිනවා,” යැයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම පිරිසිදු ජල අයිස් නිෂ්පාදන මධ්‍යස්ථානය ඉරණපාල සහ අවට ප්‍රදේශවල ධීවර ජනතාවගේ කර්මාන්ත කටයුතු සඳහා විශාල ශක්තියක් වනු ඇති අතර, ධීවර ක්ෂේත්‍රයේ නිෂ්පාදන ධාරිතාව හා ආදායම් වර්ධනයටද සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි සඳහන් කෙරිණි.












