en banner

WhatsApp Image 2026 04 01 at 12.12.20 1ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගියදා (මාර්තු 24) චීනයේ ගුවැන්ෂු (Guangzhou) නුවර පිහිටි දකුණු චීන සාගර විද්‍යා ආයතනයේ (South China Sea Institute of Oceanology - SCSIO) පැවැති "නිවර්තන සාගර පාරිසරික වෙනස්කම් පිළිබඳ චීන-ශ්‍රී ලංකා අධ්‍යයන සංසදය" (China-Sri Lanka Academic Forum on Tropical Marine Environmental Changes) සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී විය.

මෙහිදී සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කළේ, ඉන්දියන් සාගරයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ ආර්ථිකය සැමවිටම සාගරය සමඟ දැඩි ලෙස බැඳී පවතින බවයි. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය, සාගර විද්‍යාව සහ සාගර සම්පත් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වර්තමාන ලෝකය මුහුණ දෙන දේශගුණික විපර්යාස, සාගර දූෂණය සහ සාගර සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම වැනි අභියෝග ජය ගැනීමට විද්‍යාත්මක පර්යේෂණ සහ නවෝත්පාදන අත්‍යවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා, දකුණු චීන සාගර විද්‍යා ආයතනය වැනි ප්‍රමුඛ පෙළේ ආයතන සමඟ පර්යේෂණ දත්ත හුවමාරු කර ගැනීමටත්, තාක්ෂණික පුහුණුව හා ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් සඳහන් කළේය.

මෙම අධ්‍යයන සංසදය සඳහා චීන විද්‍යා ඇකඩමියේ (CAS) මහාචාර්ය චාඕලූන් ලී (Prof. Chaolun Li) මහතා ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය හේමාලි මුණසිංහ මහත්මිය, නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පර්යේෂකයන් සහ විද්‍යාඥයන් පිරිසක් සහභාගී වූහ.

දෙරටේ පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල අතර ඇති කරගන්නා මෙම සහයෝගීතාවය අනාගත පරපුර වෙනුවෙන් සාගර සම්පත්

ආරක්ෂා කිරීමටත්, වඩාත් ඵලදායී ලෙස ඒවා පරිහරණය කිරීමටත් ඉවහල් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp Image 2026 04 01 at 12.12.20

 

 

නවතම පුවත්

Youtube