ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පවතින සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු සම්පූර්ණ කරමින්, අභිනවයෙන් බඳවා ගත් නිලධාරීන් 10 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි.
විවෘත ධාරාව යටතේ නිලධාරීන් දෙදෙනෙකු සහ සීමිත ධාරාව යටතේ නිලධාරීන් අට දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පිහිටවූ බඳවා ගැනීම් අනුමත කිරීමේ කමිටුවේ විශේෂ අනුමැතිය මත, විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ තරඟ විභාගයකින් මෙම පිරිස තෝරාගෙන ඇත.
මෙහිදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කළ විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ:
"දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුණු පරිපාලනමය බාධාවන් ඉවත් කරමින් ඔබ අද නීත්‍යනුකූල බලතල සහිතව රාජකාරි අරඹනවා. අපි රාජ්‍ය නිලධාරීන්ගෙන් රජය අපේක්ෂා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති උපරිම කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා ඔබගෙන් අපි අපේක්ෂා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දීමයි."
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වංචාව සහ දූෂණය පිටුදැකීමේ අවශ්‍යතාව මෙන්ම මහජන සේවයේ වගකීම මෙසේ අවධාරණය කළේය:
"වංචාව සහ දූෂණය යනු ජාතියක් විනාශ කරන පිළිකාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අතිරික්ත වරප්‍රසාද සහ වැටුප් පවා ප්‍රතික්ෂේප කරමින් වත්මන් රජය පූර්වාදර්ශ සපයන බවත්, එම පවිත්‍ර දේශපාලන සංස්කෘතිය රාජ්‍ය පාලන යන්ත්‍රණය තුළ ස්ථාපිත කිරීමේ වගකීම නව නිලධාරීන් සතු බවත් පැවසීය. විශේෂයෙන්ම ‘Ditwa’ වැනි ස්වභාවික ව්‍යසනයන් සහ ගෝලීය අභියෝග හමුවේ පීඩාවට පත් ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීමේ වගකීම අවධාරණය කළ අමාත්‍යවරයා, අමාත්‍යාංශය තුළ කිසිදු වංචාවකට හෝ දූෂණයකට ඉඩ නොතබා පිරිසිදු රාජ්‍ය සේවාවක් ලබාදීමට අදිටන් කරගත යුතු බවද පැවසීය."
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.















